Cricket NewsEXCLUSIVE

ICC “වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ” ආරම්භක පිතිකරුවා ලෙස දිමුත් කරුණාරත්න නම් වෙයි.!

මීට ටික වේලාවකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ එක් ස්ථානයක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වෙනුවෙන් වෙන් වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සහ ආරම්භක පිතිකරුවා වන දිමුත් කරුණාරත්නයි.

ඔහු තෝරාගෙන ඇත්තේ ද 2021 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින්.

මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ පන්දුවාර 20, එක් දින කණ්ඩායම සහ ටෙස්ට් කණ්ඩායම යන කණ්ඩායම් තුනේම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සඳහා ස්ථාන වෙන් වී තිබීම විශේෂත්වයක්.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග පන්දුවාර 20 සහ එක්දින කණ්ඩායමේ ස්ථාන වෙන් කරගත් අතර, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත් චමීර එක්දින කණ්ඩායමේ වේග පන්දු යවන්නෙකු ලෙසින් නම් කරන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබුණා.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පවරා තිබුණේ නවසීලන්ත කණ්ඩායමේ කේන් විලියම්සන් හටයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2021 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සඳහා තෝරාගත් ක්‍රීඩකයින් සහ ඔවුන් එම වසර තුළ දී දක්වා තිබූ දස්කම් වාර්තා කර තිබුණේ නේ මෙලෙසින්.

දිමුත් කරුණාරත්න (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකා නායකයා 2021 වසරේ කණ්ඩායමට යෝග්‍ය එකතු කිරීමක්, ඔහු කැලැන්ඩර වර්ෂය තුළ තම කණ්ඩායමට ස්තාවර ආරම්භයක් ළබා දුන්නා. ඔහු තරග 7කදී ලකුණු 902ක් ලබා ගත්තේ 69.38ක සාමාන්‍යයක් රඳවා ගනිමින්. එයට ශතක හතරක් ඇතුලත්ව තිබුනා. දිමුත්ගේ දක්‍ෂතා හේතුවෙන් ඔහු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා සම්මානය සඳහා ද නිර්දේශ වුනා.

රෝහිත් ෂර්මා (ඉන්දියාව)

රෝහිත් ෂර්මා 2021 වසරේදී ශතක දෙකක් සමඟින් 47.68 ක සාමාන්‍යයක් සහිතව ලකුණු 906 ක් ලබා ගත්තා. මෙම ශතක දෙකම එංගලන්තයට එරෙහිව වාර්තා වූ ඒවා වුනා.

මානස් ලබුස්චේන් (ඕස්ට්‍රේලියාව)

2021 මානස් ලබුස්චේන් හට අමතක නොවන වසරක් වුනා, ඔහු ඔස්ට්‍රෙලියාවේ දිගුකාලීන අංක 3 පිතිකරු ලෙස ඔහුගේ ස්ථානය තවදුරටත් තහවුරු කරමින් තොග පිටින් ලකුණු රැස් කළා. පිතිකරණය දක්ෂතා හේතුවෙන් ICC ටෙස්ට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණීමටත් ඔහු සමත් වුනා. තරග 5කදී ලබුස්චේන් ශතක දෙකක් සමඟ ලකුණු 526ක් ලබා ගත්තේ 65.75ක සාමාන්‍ ක් තබා ගනිමින්.

ජෝ රූට් (එංගලන්තය)

2021 වසරේ දී එංගලන්ත නායක ජෝ රූට් තරග 15 කදී ලකුණු 1708ක් රැස් කළේ ලකුණු 61ක සාමාන්‍යයක් තබා ගනිමින්. ඔහු රැස් කළ ලකුණු 1708 ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කැලැන්ඩර වර්ෂයකදී රැස් කළ තෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වනවා.

කේන් විලියම්සන් (නායක) (නවසීලන්තය)

2021 වසරේ ICC ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙන, කේන් විලියම්සන් ඉන්දියාවට එරෙහිව සවුත්හැම්ප්ටන් හි පැවති සමාරම්භක ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය විලියම්සන් වසර පුරාම පිත්තෙන් ද ස්ථාවර ව සිටි අතර ඔහු තරග 4කදී ලකුණු තුන් 395 ක් රැස් කරන්නේ ලකුණු 65.83 ක සාමාන්‍ක්ය රඳවා ගනිමින්. ඒ අතරට එක් ටෙස්ට් ශතකය ද අයත්.

ෆවාඩ් අලාම් (පකිස්ථානය)

මේ 36 හැවිරිදි පරිනත ක්‍රීඩකයා ටෙස්ට් තරගවලදී පාකිස්තාන කණ්ඩායමේ නැංගුරම බවට පත්වී තිබෙනවා. 2021 වසරේදී ඉහළම දක්ෂතා අතර සිටි ෆවාඩ් අලාම්, තරග 9කදී ලකුණු 571 ක් ලබා ගත්තේ ශතක තුනක් ද සමඟින්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය දැක්වුණේ 57.10ක් ලෙසින්.

රිෂාබ් පාන්ට් (Wk) (ඉන්දියාව)

රිෂාබ් පාන්ට් තවදුරටත් කඩුල්ල පසුපස කාර්යභාරය ඉටුකිරීම සඳහා ඉන්දියාවේ පළමු තේරීම වනවා. ඔහු එංගලන්තයට එරෙහිව අහමදාබාද්හිදී අමතක නොවන ශතකයක් සමඟින් තරග 12කදී ලකුණු 748ක් රැස් කළේ 39.36ක සාමාන්‍යක් පවත්වා ගනිමින්. එමෙන්ම කඩුල්ල පසුපස සිටිමින් ඔහු ඉනිම 23කදී දැවී යෑම් 39ක් වාර්තා කර තිබෙනවා.

රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)’

මේ ඉන්දීය මායාකාරී පිට දඟ පන්දු යවන්නා තරග 9කදී කඩුලු 54ක් දවා ගත්තේ 16.64ක සාමාන්‍යයක් ද සහිතවයි. එමෙන්ම පිතිකරණයෙන් ද දස්කම් දැක්වූ අශ්වින් ලකුණු 355ක් ලබා ගෙන ඇත්තේ සාමාන්‍ය 25.35ක රඳවා ගනිමින්. එයට චෙන්නායිහිදී එංගලන්තයට එරෙහිව ලබා ගත්
ශතකයක් ද ඇතුළත්.

කයිල් ජේමිසන් (නවසීලන්තය)

ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට් සහ නීල් වැග්නර් යන ලෝක මට්ටමේ වේගපන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විත නවසීලන්ත කණ්ඩායම තුළ, ජේමිසන් 2021 දී තරග 5කදී කඩුලු 27ක් දවා ගත්තේ සාමාන්‍ය 17.51ක් ලෙසින් තබා ගනිමින්.

හසන් අලි (පකිස්ථානය)

හසන් අලි 2021 දී පකිස්තානය වෙනුවෙන් තරග 9 කදී කඩුලු 41 ක් දවා ගත්තේ 16.07 ක ඉහල සාමාන්‍යයක් සහිතවයි. 2021 වසරේ දී තරගයකදී ඔහුගේ හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ ලකුණු 114/10 ක් ලෙසින්.

ෂහීන් අෆ්රිඩි (පකිස්ථානය)

2021 වසර ෂහීන් අෆ්රිඩිට මතක තබා ගත යුතුම වසරක් වී තිබෙනවා. අෆ්රිඩි තරඟ 9 කදී කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 17.06 ක් ලෙස රඳවා ගනිමින් කඩුළු 47 ක් දවා ගෙන තිබෙනවා. ඊට කඩුලු 5 බැගින් දවා ගැනීම් තුනක් ද ඇතුළත්. තවමත් 21 වැනි වියේ පසුවන ෂහීන් ඉදිරි වසර කිහිපය තුළ පාකිස්තාන වේග පන්දු යැවීමේ ඒකකයේ බියකරු සාමාජිකයෙක් වනු නොඅනුමානයි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිකුත් කළ 2021 වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන වනිදු හසරංග ද නම් කර තිබෙනවා.

මීට අමතර ව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත් චමීරත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කළ වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත්.

මේ කණ්ඩායමේත් නායකත්වයේ වගකීම පවරා ඇත්තේ, පාකිස්ථානයේ සුපිරි ආරම්භක පිතිකරු සහ කණ්ඩායම් නායකයා වන බාබර් අසාම්ට යි.

බාබර් අසාම් මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසිනුත් නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button