Cricket NewsEXCLUSIVEWoman Cricket

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 137ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් එංගලන්තය කාන්තා ලෝක කුසලානයේ අවසන් සටනට.!

මෙවර නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම ඊයේ (31 වැනිදා) සමත් විය.

වත්මන් ලෝක ශූරියන් වන එංගලන්ත ක්‍රීඩිකාවෝ එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබාගත් 8 වැනි අවස්ථාව මෙයයි. මින් පෙර අවසන් තරගයට පිවිසි අවස්ථා 7 න් 4 කදීම ශූරතාව දිනාගැනීමට ඔවුහු සමත් වූහ.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ලකුණු 137 ක පහසු ජයක් වාර්තා කරමින් එංගලන්ත ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට පිවිසියහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 293 ක් ලබා ගත්තේය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ඩැනියෙල් වයට් පන්දු 125 කින් ලකුණු 129 ක් රැස්කළේ හතරේ පහර 12 ක් සමගිනි. සොෆියා ඩන්ක්ලි (60) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112 කදී ලකුණු 116 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද වයට් සමත් වූවාය.

පන්දු 72 කට මුහුණදුන් ඩන්ක්ලි හතරේ පහර 4 කින් සිය අර්ධ ශකතය සැරසුවාය. ඇමී ජෝන්ස් පන්දු 32 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, සොෆී එක්ලෙස්ටොන් පන්දු 11 කදී හතරේ පහර 5 ක් සමග වේගවත් ලකුණු 24 ක්ද රැස්කරමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාව ආසන්නයට රැගෙන ගියහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 294 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු කණ්ඩායමට සොෆී එක්ලෙස්ටෝන් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 38 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ එක්ලෙස්ටෝන් ලකුණු 26 කට කඩුලු 6 ක් බිඳහෙළුවාය. දකුණු අප්‍රිකානු කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ මිග්නන් ඩුප්‍රේස් පන්දු 48 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 30 ක් රැස්කළාය. එහිදී ලාරා ගුඩෝල් පන්දු 49 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද, නායිකා සුනී ලූස්, මැරිසේන් කේප් සහ ටී්‍රෂා චෙට්ටි ලකුණු 21 බැගින්ද රැස්කළහ.

 

එංගලන්ත කාන්තා පිල – 293/8 (50)

දකුණු අප්‍රිකානු කාන්තා පිල – 156/10 (38)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button