Cricket NewsEXCLUSIVEFuture Stars

පා ඇගිලි තුඩු රිද්දන යෝකර් පන්දු වලින් පිතිකරුවන් මෙල්ල කරන, චමින්ද වාස් හඳුන්වා දුන් හී සැරය – ඩිල්ශාන් මදුශංක.!

පන්දුවාර හතරකින් අද රටක්ම පෙම් බඳින තැනකට පත් වෙන්න ඩිල්ශාන් මදුශංකට පුළුවන් වෙනවා.
පකිස්තානයේ ශහීන් ෂා අෆ්‍රිඩිලා නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට්ලා ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාර්ක්ලා පන්දු යවද්දි අපි හරිම ආසාවෙන් බලාගෙන හිටියා.

ශ්‍රි ලංකා වමත් වේග පන්දුවට නම් එතරම් හොද ඉතිහාසයක් තිබුනේ නැ.. එදත් අදත් ශ්‍රි ලංකා ක්‍රිකට් වීර පොතෙහි උඩින්ම ඉන්න නමක් තිබුනා. ඒ තමයි චමින්ද වාස්. මේ අතිවිශිෂ්ඨ පන්දු යවන්නා හැරෙන්න බොහෝ වමත් වේග පන්දු යවන්නන්ගේ ජාත්‍යන්තර ගමන තරමක් කොට වුනා.

වර්තමානයේ බිනුර ප්‍රනාන්දු වමත් හී සැරයෙන් සිය දායකත්වය දෙනවා. නමුත් බිනුර කියන්නේ මෑත කාලයේ බොහෝ ආබාධ වලට ගොදුරු වුන වේග පන්දු යවන්නෙක්. කොහොම වුනත් බිනුරගේ ක්‍රිකට් චාරිකාවට තවත් ලොකු දුරක් තියෙනවා. ඒ අතරෙදී තවත් හී සැරයක් තමන්ගේ හැකියාව රටටම පෙන්නලා ප්‍රේක්ෂකයන් පෙමින් වෙලා ගන්නවා.

ඒ තමයි ඩිල්ශාන් මදුශංක !

එහෙමත් නැත්තම් නිපුන් දනංජයගේ සුවච කීකරු විශ්වාසනීය වේග පන්දු සගයා කිව්වත් නිවරැදියි. 2020 අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ නිපුන් දනංජයගේ නායකත්වය යටතේ ක්‍රීඩා කල ශ්‍රි ලංකා කන්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙක් තමයි මේ,

ඩිල්ශාන් මදුශංක කියන්නේ පොඩි කාලයේ ඉදලම ක්‍රිකට් ක්‍රීඩාවට පිස්සුවෙන් වගේ පෙම් කරපු තරුණයෙක්. මෙයා ඉගෙන ගන්නේ හුංගම විජයබාහු ජාතික පාසලේ. පාසල් කාලයේ වයස අවුරුදු 13න් පහල කන්ඩායම වෙනුවෙන් තේරිම් සදහා ඩිල්ශාන් සහභාගි වුනත් ඩිල්ශාන්ට පාසල් කන්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව නැති වෙනවා.

ඊට පස්සේ අවුරුදු 15න් පහල කන්ඩායම සදහා තේරිම් වලට යනවා. ඒත් පලවෙනි තේරිම් වටයේ ආයෙමත් සැරයක් හිස් අතින් ගෙදර එන්න ඩිල්ශාන්ට සිදු වෙනවා. ඔන්න නැවතත් තේරිම් කරනවා. මේකටත් ඩිල්ශාන් යනවා. එතැනදි කන්ඩායමට තේරිලා වයස අවුරුදු 15න් පහල ක්‍රීඩකයෙක් විදිහට ඩිල්ශාන් ක්‍රීඩා කරනවා.

ඊට පස්සේ අවුරුදු 15න් පහල ක්‍රීඩා කරාට පස්සේ ඩිල්ශාන්ට තරග ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැ..

එක දවසක් ඩිල්ශාන්ට අවස්ථාවක් ලැබුනා. ඒ තමයි එදා සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වයස අවුරුදු 19න් පහල ශ්‍රි ලංකා කන්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණු සැසියක් තිබුනා. එදා මේ පුංචි කොල්ලට අවස්ථාවක් ලැබෙනවා ගිහින් ශ්‍රි ලංකා වයස අවුරුදු 19න් පහල කන්ඩායමේ ක්‍රීඩකයින්ට පන්දු යවන්න.

ඩිල්ශාන් ඒකට යනවා. ගිහින් ඉතාම හොදින් පන්දු යවනවා. එදා තමයි මේ ඩිල්ශාන් මදුශංක කියන ක්‍රීඩකයාගේ ජීවිතේ වැදගත්ම දවස. ඔය අවස්ථාව නැත්තම් අද ඩිල්ශාන් මදුශංක කෙනෙක් මේ විදිහට නෑ කිව්වොත් හරි.

එදා ඩිල්ශාන් පන්දු යවනවා එක්කෙනෙක් දකිනවා. එයා ඩිල්ශාන් පන්දු යවනවා දැකලා ඩිල්ශාන්ට කතා කරලා ඩිල්ශාන්ගෙ ෆෝන් නම්බර් එක ඉල්ලගෙන යනවා.

වෙන කව්රුත් නෙමෙයි ඒ තමයි චමින්ද වාස් සර් !

ඊට පස්සේ වාස් සර් ඩිල්ශාන්ට කතා කරලා ඛෙත්තාරාමයේ ප්‍රැක්ටිස් වලට එන්න කියනවා. ඒ දවස්වල වාස් තමයි වයස අවුරුදු 19න් පහල කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු.

ඊට පස්සේ ඩිල්ශාන් වාස් සර් එක්ක ප්‍රැක්ටිස් කරගෙන ඉන්නවා. එතැනින් පස්සේ මෙයාට තරග පිට තරග ලැබෙනවා. දක්ෂතා දක්වනවා. අවසානයේ 2020 යොවුන් ලෝක කුසලානයේ ශ්‍රි ලංකා කන්ඩායම පවා නියෝජනය කරනවා.

ලෝක කුසලානයේදී මේ අපූරු හී සැරය ගැන බොහෝ දෙනා දකිනවා. ශ්‍රි ලංකා පුහුණුකරු වෙලා හිටපු මිකී ආතර් පවා මෙයාව අවුරුදු 19න් පහල ලෝක කුසලානයේ දැකලා කියලා තියෙනවා. LPL පලවෙනි අදියරේදී මිකී ආතර් කියනවා මෙයා ඊලග අවුරුදු දෙක තුන ඇතුලත අනිවාර්යයෙන්ම ජාතික කන්ඩායමේ නියෝජනය කරාවි කියලා.

ඩිල්ශාන් කියන්නේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක්. LPL නියෝජනය කරනවා. එතැනින් ඔබ්බට ගිහින් ශ්‍රි ලංකා ඒ සංචිතයට එනවා. කඩුලු ගන්නවා. හැකියාව පෙන්නනවා.

දැන් එයා ඒ හැකියාව රටටම පෙන්නුවා. ඒ වේගයත් සමග ඔහුගේ පන්දු වල තියෙන දෝලනයට ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් දහදෙනා අතර ඉන්න පිතිකරුවන් පවා අසරණ කරන්න සමත් වෙනවා.පා ඇගිලි තුඩු රිද්දන යෝකර් පන්දු වලින් පිතිකරුවන් අපූරුවට මෙල්ල කරනවා. ඉන් ස්වීන් යෝකර් පන්දු කඩුල්ල හොයාගෙන පියාඹනවා.

පන්දුවාර හතරයි.
පන්දුවාර හතරකට රටක්ම ආකර්ෂණය කරන්න පුළුවන්ද ?
ඔහු ඒ දේ කරනවා.
පිතිකරුවන් භීතියට පත් කරන හරිම සුන්දර පන්දු යැවීමක් මේ පොඩි කොල්ලා රටටම පෙන්නනවා.

එදා වාස්ට මුණ නොගැසුනා නම් අද ඩිල්ශාන් කෙනෙක් නැති වෙනවා. ඇත්තටම අපි වාස් වගේ විශිෂ්ඨයින්ගෙන් අපේ රටේ ක්‍රිකට් වලට වැඩක් ගන්නවා හුගාක් මදි මිත්‍රයා..

තවත් ඩිල්ශාන් වගේ අය මේ පුංචි රටේ හැංගිලා ඉන්නවා. අවසානයේ වාස් සර් හින්දා මේ අපූරු වමත් වේග පන්දු හී සැරය ගැන අද රටක්ම කතා කරනවා.

– Rishie Bro

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7