Cricket NewsEXCLUSIVELegends Story

ඉතිහාසය අලුතින්ම ලියු SSC පිටියේ වාර්ථා වූ සංගා-මහේලගේ ලොව ඉහලම සබඳතාවයට අදට වසර 16 ක් සපිරෙයි.!

සියවසක පමණ අතීතයක් හිමි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල අමරණීය මතකයන් මෙන්ම වාර්ථා රැසක්ද සමඟින් ක්‍රිකට් පොත් අලුත් කරන්නට ලොව බිහිවූ සාර්ථකම වමත් පිතිකරුවාට හා තාක්ෂණයෙන් අග්‍රගණයේ ක්‍රීඩයෙකුට හැකි විය. අදට වසර 16 කට පෙර කුමාර් සංගක්කාර සමඟින් එක්වූ මහේල ජයවර්ධන එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ වාර්ථා කල ඉහලම සබඳතාවය නිර්මාණය කලේය.

දේදුණු දේශයට එරෙහිව කොළඹ SSC පිටියේ දී ඔවුන් දෙදෙනා ගොඩ නැඟූ ලකුණු 624 ක සබඳතාවය මීට වසර 16 කට පෙර එනම් 2006 වසරේ අදවන් දිනකදී ක්‍රිකට් පොත් අලුත් කලේ 1997 වසරේදී සනත් ජයසූරිය හා රොෂාන් මහානාම ඉන්දියාවට එරෙහිව ගොඩනැඟූ ලකුණු 576 වාර්ථාව බිඳ දමමිනි.

කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පිතිකරණයේ යෙදුණු දකුණු අප්‍රිකාණු පළමු ලකුණු 169 කට සීමා වූයේ දිල්හාර ප්‍රනාන්දු හා මුත්තයියා මුරලිදරන් ඉදිරියේ දකුණු අප්‍රිකාණු ක්‍රීඩකයින් දැක්වූ දියාරු පිතිකරණය හේතුවෙනි.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම වමත් පිතිකරුවන් දෙදෙනෙකුට පැවරුණු අතර 2006 වසර පුරාවටම ඔවුන් දෙදෙනා සමස්ත තරඟ ආකෘති සියල්ල පුරාවටම අතිශය සාර්ථක ආරම්භක පිතිකරුවන් යුගලයක් බවට පත්ව සිටියේය.

නමුත් දකුණු අප්‍රිකාණු සුපිරි වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටේන්ගෙන් එදා නම් SSC පිටියේදී ඔවුන් දෙදෙනා හට ගැලවීමක් නොවුණි.ජ්‍යේෂ්ඨ පිතිකරු සනත් ජයසූරිය ස්ටේන් ගේ පන්දුවක් හමුවේ මාක් බවුචර් වෙතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගිය අතර යොවුන් පිතිකරු උපුල් තරංග කඩුල්ල මුවා කිරීමේ වරදට ස්ටේන් හමුවේ දැවී ගියේය.

ලකුණු පුවරුව ලකුණු 14 ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයේය.ඉන් අනතුරුව කුමාර් සංගක්කාර සමඟින් එක්වූ මහේල ජයවර්ධන පළමු දිනය අවසන් වන ලකුණු 114 ක සබඳතාවයක් ගොඩනගා තිබුණි.සංගක්කාර නොදැවී ලකුණු 59 ක් හා ජයවර්ධන ලකුණු 55 ක් තමන්ගේ නම ඉදිරියෙහි සටහන් කරගෙන තිබුණි.

ද.අප්‍රිකාණු පළමු ඉනිමට වඩා ලකුණු 155 ක් පසුපසින් සිටිමින් දෙවන දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය වන විට ලකුණු 227 ක් රැස් කරගෙන සිටියේ දකුණු අප්‍රිකාණු පන්දු යවන්නන් හට දැඩි පීඩනයක් එල්ල කරමිනි.පළමු දිනයේ තේ පානයෙන් අනතුරුව එකදු කඩුල්ලක් හෝ ලබාගන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අසමත් වීම ඔවුන් තවත් වෙහෙසකර තත්වයකට ගෙන ආවේය.

පන්දු 116 කදී හතරේ පහර 14 ක් සමඟින් සංගක්කාර දිවා ආහරයට පළමුව තමන්ගේ ශතකය වාර්ථා කරගත් අතර , දිවා ආහාරයට තරඟය නතර කරන විට කුමාර් සංගක්කාර ලකුණු 108 ක් හා වඩාත් ඉවසිලිවන්ත වූ නායක මහේල ජයවර්ධන ලකුණු 99 ක් රැස් කරගෙන සිටියේය.

දිවා ආහාරයෙන් පසු දිගින් දිගටම දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් හට හිස එසවීමට ඉඩ ලබා නොදෙන්නට නායක ජයවර්ධනට හා සංගක්කාරට හැකි විය.සමස්ත දිනයක් සැසි තුනක් පුරාවට නොදැවී ක්‍රීඩා මහේලට හා සංගක්කාරට හැකි විය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හට අතිශය වෙහෙසකර වූ දෙවන දිනය නිමාවූයේ සත්කාර ක්‍රීඩකයින් ගේ ලකුණු පුවරුව ලකුණු 485 ක් ව තිබියදීය.දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කල සංගක්කාර ලකුණු 229 ක් හා මහේල ලකුණු 224 ක් රැස් කරගෙන සිටියේ නොබිඳුණු ලකුණු 471 ක සබඳතාවයක්ද සමඟිනි.

දකුණු අප්‍රිකාණු පළමු ඉනිමට වඩා ලකුණු 316 ක් ඉදිරියෙන් සිටිමින් තෙවන දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිනයේ ක්‍රියාත්මක කල හත්වැනි පන්දුවාරයේදී ලකුණු 500 සීමාව පසුකර ගියේය.දිනයේ දෙවැනි සැසියේ මුල් පන්දුවාර කිහිපය වන විට ජයවර්ධන හා සංගක්කාර එවකට ලොව ඉහලම ටෙස්ට් සබඳතාවය වූ 1997 වසරේ ඉන්දියාවට එරෙහිව දෙවැනි කඩුල්ල වෙනුවෙන් සනත් ජයසූරිය හා රොෂාන් මහානාම ගොඩනැගූ ලකුණු 576 ක සබඳතාවය බිඳ දැමුවේය.

සැසි හයක් පුරාවට ක්‍රියාත්මක වූ නොබිඳුනු ලකුණු 624 ක සබඳතාවය දිනයේ ක්‍රියාත්මක කල 48 වැනි පන්දුවාරයේදී බිඳ දමන්නට ඇන්ඩෲ හෝල් සමත් විය.ලකුණු 284 ක් ලබා සිටි කුමාර් සංගක්කාර මාක් බවුචර් අතට උඩපන්දුවක් ලබාදීමෙන් හෝල් ඉදිරියේ දැවී ගියේය.පන්දු 457 ක් පුරාවට ක්‍රියාත්මක වූ අග්‍රගණයේ ඉනිමක් දියත් කල සංගක්කාරගේ ඉනිම හතරේ පහර 35 කින් වර්ණවත් විය.

සංගක්කාර දැවී යාමෙන් අනතුරුව මහේල ජයවර්ධන සමඟින් පිටියේ එක්වූ තිලකරත්න ඩිල්ශාන් තෙවැනි දිනයේ තේ පානය වන විට කඩුලු 3 ක් දැවී ලකූණු 720 ක් දක්වා ගෙන ගියේය.තේ පානය වන විට කඩුල්ලේ නොදැවී ක්‍රීඩා කල මහේල ජයවර්ධන ලකුණු 357 ක් රැස් කරගෙන සිටි අතර කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරාගේ ලකුණු 400 ඉක්මවා යනු ඇතැයි එවකට ලාංකේය ක්‍රීඩා ලෝලීන් දෑස් දල්වා බලා සිටියේය.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සබඳතාවයක් ගොඩනගන්නට ඩිල්ශාන් හා මහේල සමත් වූ අතර ලකුණු 45 ක් ලබා සිටි ඩිල්ශාන් ස්ටේන් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් දැවී ගියේය.තෙවැනි දිනයේ අවසන් සැසියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙසින් ලකුණු 374 ක් ලබා සිටි මහේල ජයවර්ධන දැවී ගියේ අන්ඩේ නෙල් යොමු කල පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමත් සමඟය.

ඒත් සමඟින් ලෝක වාර්ථා දෙකක් බිහිවේ යැයි අපේක්ෂාවෙන් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවන් සුණුවිසුණු කරන්නට නෙල් සමත් විය.

ජවර්ධනගේ දැවීයාමෙන් අනතුරුව කඩුලු පහක් දැවී ලකුණු 756 ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවන්නට නායක ජයවර්ධන ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තීරණය කලේ සංචාරක දකුණු අප්‍රිකාණු පළමු ඉනිමට වඩා ලකුණු 587 ක් ඉදිරියෙන් සිටිමිනි.

ලකුණු 587 ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමට සියල්ලන්ම දැවී රැස් කරන්නට හැකි වූයේ ලකුණු 434 ක් පමණි.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජැක් රැඩොල්ෆ් ලකුණු 90 ක් හා,මාක් බවුචර් ලකුණු 85 ක් රැස් කලේය.ඔවුන් දෙදෙනාට අමතරව අන්ඩ්‍රේ හෝල් හා නායක ඇශ්වෙල් ප්‍රින්ස් වාර්ථා කල අර්ධ ශතක දකුණු අප්‍රිකාණු ඉනිම වාර්ථා කල නමුත් තරඟයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 131 කට කඩුලු 6 ක් බිඳ දමන්නට මුත්තයියා මුරලිදරන් සමත් වූ අතර ඔහු සමස්ත තරඟය පුරාවටම බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 10 කි.

ක්‍රිකට් පොත් අලුත් කල තරඟයක් වූ මෙම තරඟය ඉනිමකින් හා ලකුණු 153කින් ජයගන්නට සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර දකුණත් පිතිකරුවෙකු එදා මෙදා තුර වාර්තා කල ඉහලම පෞද්ගලික ඉනිම වන ලකුණු 374 ඉනිම වාර්ථා කල මහේල ජයවර්ධන තරඟයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7