Cricket NewsEXCLUSIVE

ICCය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සිදු කළ කළ අලුත්ම වැඩක් එළිදක්වයි.!

ICCය විසින් සිදුකරනු ලබන ගෝලීය පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් වෙනුවෙන් පසුගියදා දියත් කෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වෙමින් සිදුකරන ලද මෙම පුහුණු සහ අධ්‍යාපන වැඩසටහන, පුහුණුකරුවකුවීමේ අපේක්ෂාවෙන් පසුවන්නන්ට අවශ්‍ය මූලික දැනුම කැටිකොට සකස් කරන ලද්දකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශ හරහා සිදුකරන ලද මෙම වැඩසටහන, තාක්ෂණය ඔස්සේ දැනුම අලුත් කර ගැනීමට බලාපොරොත්තුවෙන් වර්තමාන පුහුණුකරණයේ නියුතු පුහුණුකරුවන්ටද මහඟු අත්වැළක් සපයනු ඇත.

අන්තර්ජාලය ඔස්සේ පූර්ණ වශයෙන් බෙදාහරිනු ලබන මෙම පුහුණු පාඨමාලාව (ICC Foundation Course) යටතේ ක්‍රීඩක ආරක්ෂාව, ක්‍රීඩකයින් එකමුතුව තබා ගැනීම, ක්‍රීඩක දක්ෂතා හඳුනා ගැනීම සහ පුහුණුකරුවාගේ භූමිකාව යන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ මූලික කරුණු කෙරෙහි අවධානය යොමු වන සේ නිර්මාණය කර තිබේ.

වර්තමාන ජිවන රටාවේ කාලය වෙන් කර ගැනීමද අසීරු කරුණක් වුවද මෙම නවතම ක්‍රමවේදය හරහා පුහුණුකරුවන්ට තමන්ට රිසි කාලවේලාවන්හිදී අධ්‍යාපන දැනුම වැඩිකර ගැනීමේ අවස්ථාවද උදාවනු ඇත.

අලුතින්ම දියත් කරන ලද මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන ප්‍රධානී ටිම් මැක්කස්කිල් මහතා, “මෙය ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ වන පුහුණු අධ්‍යාපන ඒකකයේ විශිෂ්ඨ නිර්මාණයක්. ඔවුන් පුහුණුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රියාකාරකම් රටේ සියලුම අපේක්ෂිත පුහුණුකරුවන්ට සම්බන්ධ කරගත හැකි වේදිකාවක් නිර්මාණය කර තිබෙනවා. මෙහි වැදගත්ම කොටස වන්නේ පුහුණුකරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කැමැති භාෂාවෙන් ඉගෙනීමට හැකියාව ලැබීමයි” යනුවෙනි.

ඉංග්‍රිසි මාධ්‍යයට අමතරව සිංහල සහ දමිල භාෂාවන් වලින් මෙම පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව පුහුණුකරුවන්ට උදාවී තිබේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඵලදායී පුහුණුවක් සහ විනෝදජනක ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කරගන්නා ආකාරයද මේ හරහා පුහුණුකරුවන්ට ඉගෙන ගැනීමට අවස්ථාව උදාවීමයි.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අධ්‍යාපන අංශ ප්‍රධානී හේෂාන් ද මෙල් මහතා , “ස්වෙච්ඡාවෙන් ක්‍රිකට් පුහුණුකරණයේ යෙදී සිටින රට පුරා වූ පුහුණුකරුවන්ට පුහුණුකරණය පිළිබඳව වැඩි පුර අවබෝධයක් ලබාදීම සඳහා යන ඉලක්ක ගත වැඩපිළිවෙළේ සැලකිය යුතු පියවරක් ලෙසින් මෙම පාඨමාලාව හඳුන්වන්න පුලුවන්.

මේ හරහා පාසල් මට්ටමේ ක්‍රිකට් වැඩසටහන් නැවත නැවත දියත් කිරීම සඳහා අපගේ පුහුණුකරුවන්ගේ ජාලය ශක්තිමත් කිරීමට අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු මට්ටමේ (Level i) පුහුණු පාඨමාලාවට ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් පසුවන නවක පුහුණුකරුවන්ටද ඒ සඳහා ප්‍රවේශවීමේ සුදුසුකමක් ලෙසින් මෙම අධ්‍යාපන පුහුණු වැඩසටහන යොදා ගන්න පුලුවන්” යනුවෙනි.

“නව පුහුණු කිරීමේ ක්‍රමවේදය සහ එහි අන්තර්ගතය මුදා හැරීමේදී ICC යේ ඩිජිටල් සම්පත් භාවිතය (අධ්‍යාපන මෘදුකාංගය) අපිට අපූරු අත්දැකීමක් ගෙන දෙන්නක් වුණා.

ඇත්තටම මේ හරහා අපගේ පිට පළාත් වල පුහුණුකරුවන්ට අන්තර්ජාලය භාවිතය හරහා පුහුණුකරණය පිළිබඳව විශාල දැනුමක් සහ ශක්තියක් ලබා ගැනීමට හැකිවෙනවා” යි ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන ප්‍රධානී තාරක සමරතුංග මහතා සඳහන් කර සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button