Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

කාන්තා විස්සයි-20 ලෝක ශූරියන් වන්නෙ කවුද ? – තීරණය හෙට.

කාන්තා ‍විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය හෙට (20 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වන අතර එහිදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව නවසීලන්ත කාන්තා කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට පිවිසියහ. නවසීලන්ත ක්‍රීඩිකාවෝ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමිනි.

‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසින් අවසන් පූර්ව වටයට පිවිසි නවසීලන්තය මූලික වටයේදී ඉන්දියාවට, පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව ජය වාර්තා කළ අතර ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් විය. මූලික වටයේදී එංගලන්තයට, බංග්ලාදේශයට සහ ස්කොට්ලන්තයට එරෙහිව ජය වාර්තා කරමින්, කෙ‍ාදෙව් පිල හමුවේ පරාජයට පත්වූ දකුණු අපිකාව අවසන් පූර්ව වටයට පිවිසියේ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වන අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙ‍ය වේ. කෙසේ වුවත් ‍මින් පෙර අවසන් මහ තරගවලට ක්‍රීඩා කළ අවස්ථා තුනේදීම මෙම කණ්ඩායම් දෙකට අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුව ඇත.

2009 සහ 2010 යන වසර වලදී ‍විස්සයි-20 ලෝක කුසලාන අනු ශූරියන් බවට පත්ව ඇති නවසීලන්තය මෙවර අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින්නේ වසර 14 කට පසුවය. එහෙත් 2023 වසරේදී අනු ශූරියන් බවට පත්වූ දකුණු අප්‍රිකාව මෙවර අවසන් මහ තරගයට ක්‍රීඩා කරන්නේ පිට පිටම දෙවැනි වතාවටය.

‍නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර කාන්තා විස්සයි-20 තරග 15 ක් පැවැත්වී ඇති අතර ඉන් තරග 11 ක් ජයගැනීමට නවසීලන්තයද, තරග 4 ක් ජයගැනීමට දකුණු අප්‍රිකාවද සමත්ව තිබේ. එම තරග 15 න් 5 ක්ම ‍විස්සයි-20 ලෝක කුසලාන තරග වන අතර එහිදී නවසීලන්තය ජයග්‍රහණ 3 ක්ද, දකුණු අප්‍රිකාව ජයග්‍රහණ 2 ක්ද අත්කර ගෙන තිබේ.

මෙවර තරගාවලි‍යේ වැඩිම ලකුණු ලාභිණීයන් අතර ‍දකුණු අප්‍රිකාවේ ලෝරා වුල්වාඩ්ට් (ලකුණු 190) සහ ටස්මින් බ්‍රිට්ස් (ලකුණු 170) පෙරමුණේ පසුවෙති. වැඩිම කඩුලු ලාභිණියන් අතර නවසීලන්තයේ ඇමීලියා කේර් (කඩුලු 12) ඉදිරියෙන්ම සිටින අතර දකුණු අප්‍රිකාවේ නොන්කුලුලෙකෝ ම්ලාබා (කඩුලු 10) එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button