Cricket NewsEXCLUSIVEInternational

කාන්තා විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ට ශතකය හේතුවෙන් කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අබුඩාබියේ පැවති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය.

අබුඩාබියේ සෙයිඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල හමුවේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් විය.

 

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල දුන් ලකුණු 170ක ඉලක්කය හඹාගිය ස්කොට්ලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි. ස්කොට්ලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 16දී බිඳ වැටුණු අතර, සිව්වැනි ඕවරය ක්‍රියාත්මක කළ උදේශිකා ප්‍රබෝධනි පන්දු 3ක් තුළ ක්‍රීඩිකාවන් දෙදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් වූවාය. ශ්‍රී ලංකා පන්දු බළඇණිය හමුවේ සෙසු පිතිකාරිනියන්ට ද පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් නොලැබුණු අතර, ලකුණු 30ක් රැස් කළ ප්‍රියනාස් චැටර්ජි ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. ඊයේ සිය විස්සයි20 හොඳම පන්දු යැවීම සටහන් කළ උදේශිකා ප්‍රබෝධනි ලකුණු 13කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, ඉනෝෂි ප්‍රියදර්ශනි, සුගන්දිකා කුමාරි සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්හ.

Chamari Athapaththu holds aloft the Women's T20 World Cup Qualifier trophy after defeating Scotland, Scotland vs Sri Lanka, Women's T20 World Cup Qualifier, final, Abu Dhabi, May 7 2024

ස්කොට්ලන්තයේ ආරාධනයෙන් නායිකා චමරි අතපත්තු සමඟින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විශ්මි ගුණරත්න ලකුණු 9කට දැවී ගිය අතර, හර්ෂිතා මාධවීගේ ඉනිම ලකුණු 8කට සීමා විය. මුළු ලකුණු 55දී තෙවැනි කඩුල්ල ලෙස කවීෂා දිල්හාරි (15) දැවී යෑමෙන් පසු පිටියට පිවිසි නිලක්ෂි ද සිල්වා ලකුණු 106ක සබඳතාවක් පිහිටුවීමට නායිකාවට අනගි සහායක් දුන්නාය. ඉන් ලකුණු 83ක්ම චමරි සතුවීම කැපී පෙනුණු අතර, සිව්වැනි කඩුල්ලට පන්දු 65කින් ගොඩනැඟුණු එම සබඳතාව බිඳ වැටුණේ චමරි දැවී යෑමෙනි. එම සබඳතාව වාර්තා පොතට එක් වූයේ කාන්තා විස්සයි20 තරගයකදී ශ්‍රී ලාංකික පිතිකාරිනියන් දෙදෙනකු සිව්වැනි කඩුල්ලට ගොඩනැඟූ ඉහළම සබඳතාව ලෙසිනි. මින් පෙර නිලක්ෂි ද සිල්වා සහ හර්ෂිතා මාධවී සිව්වැනි කඩුල්ලට ලකුණු 104ක සබඳතාවක් ගොඩනඟා තිබිණි.

පන්දු 63කට මුහුණදුන් චමරි සිය දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ශතකය ලෙස ලකුණු 102ක් රැස් කළ අතර, ඇය ඉනිම හතරේ පහර 13කින් සහ හයේ පහරකින් වර්ණවත් කර ගත්තාය. ශ්‍රී ලංකා ඉනිම නිමා වන විට නිලක්ෂි පන්දු 27කින් නොදැවී ලකුණු 22ක් රැස් කර තිබිණි. ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස හසිනි පෙරේරා ලකුණු නොලබා දැවී ගිය අතර, ඇය වාර්තා අතරට එක් වූයේ ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 ක්‍රීඩිකාවක් බින්දුවට දැවී ගිය වැඩිම අවස්ථා සංඛ්‍යාවට හිමිකම් කියමිනි. ඇය ඊයේ ලකුණු නොලබා දැවී ගොස් තිබුණේ 11 වැනි වරටය. පන්දු යැවීමේදී රේචල් ස්ලේටර් කඩුලු 2ක් දවා ගත්තාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button