Cricket NewsEXCLUSIVE

“ඉන්දියාව ගොඩාක් උත්සාහ කළා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අනෙක් රටවල් උනන්දු කරන්න” – ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා

එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් පමණ උපයාගැනීමට හැකිවෙතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (03 ) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ඒ බව ප්‍රකාශ කර සිටියා.

“තරගාවලිය අපි ශ්‍රී ලංකාවේදී පැවැත්වූවා නම්, තරගාවලියේ සත්කාරකයන් වශයෙන් අපට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් 2.5 යි. එහෙනම් ඒ මුදල සංසරණය වන්නේ අපේ රට තුළදීමයි නමුත් මේ වෙලාවේදී අපිට සත්කාරකයන්ගේ කොටස වශයෙන් ඩොලර් මිලියන 2.5 ක් ලැබෙනවා විතරක් නෙමේ, ප්‍රවේශපත් විකිණීමේ ආදායමෙන් තවත් ඩොලර් මිලියන 1.5 ක් ලැබෙනවා.

ඒකත් එක්ක ඩොලර් මිලියන 4 ක් අපට එනවා. ඊටත් අමතරව, තරගාවලියේ ආදායමේ කොටසක් වශයෙන් ඩොලර් මිලියන 2.5 ත් 3.0 ත් අතර මුදලක් අපට ලැබෙනවා. ඒ හින්දා මේ තරගාවලියෙන් අපට ලැබෙන සම්පූර්ණ ආදායම ඩොලර් මිලියන 6.5 ක් විතර වෙනවා” යයිද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා මෙහිදී පවසා සිටියා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැකි සෑම උත්සාහයක්ම ගත් නමුත් තරගාවලියේ ප්‍රධාන කොටස්කරුවන් පිරිසක් වන රූපවාහිනී නිෂ්පාදන ආයතන වලින් ඉදිරිපත් වූ සැලකියයුතු කාරණා හේතුවෙන් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගෙන යාමට සිදුවූ බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්වරයා මෙහිදී ප්‍රකශ කර සිටියා.

මෙම තරගවලියේ සත්කාරකත්වය ලබාගැනීමට බංග්ලාදේශයත් උත්සාහ කළ නමුත් ආසියානු ක්‍රිකට් සභාවේ කැමැත්ත හිමිවූයේ එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවත්වීමට බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මෙහිදී සඳහන් කර සිටි අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව දැඩි උත්සාහයක නිරත වූ බවද සඳහන් කර සිටියා.

“ඉන්දියාව ගොඩාක් උත්සාහ කළා මේ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අනෙක් රටවල් උනන්දු කරන්න. ඒත් මේ ආකාරයේ විශාල තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමේ අවදානම ගැන බොහෝ සාමාජික රටවල අවධානය යොමු වුණා. යම් හෙයකින් මොකක් හරි අකරතැබ්බයක් වුණා නම්, අපේ සාමාජික රටවලුත් අපට දොස් කියාවි. මොකද එහෙම වුණා නම් අනෙක් සියලුම රටවලටත් විශාල මූල්‍ය අලාභයකට මුහුණ දෙන්න වෙනවා” යයි ද මොහාන් ද සිල්වා මහතා මෙහිදී පවසා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පැවැත්වූ එම විශේෂ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button