Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකටම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් අනතුරු ඇඟවීමක්.!

දිරියේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල පූර්ණ සාමාජිකත්වය හිමි රටවලට වුවද වසරකදී ක්‍රීඩා කළ හැකි ටෙස්ට් තරග සංඛ්‍යාව සීමා සහිත වනු ඇති බවට ICC සභාපති ගේ‍රග් බාර්ක්ලේ සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව මේ දිනවල ලෝඩ්ස්හිදී පැවැත්වෙන නවසීලන්තය සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර විදෙස් ක්‍රීඩා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ICC ප්‍රධානියා මේ බව සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ලොව ප්‍රමුඛතම ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් තුන ලෙසින් හැඳින්වෙන (big three) ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවල ටෙස්ට් තරගාවලි කාලසටහනට කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇති බවද ඔහු සඳහන්කර තිබීමද විශේෂත්වයකි.

මෙම සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා තිබූ ICC ප්‍රධානියා මෙසේද පවසා තිබිණි. “ලොව පුරා ක්‍රියාත්මක වන ද්වීපාර්ශ්වීය ක්‍රිකට් තරගාවලි සහ දේශීය ලීග් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ තරග කාලසටහන් දැඩි කාර්ය බහුලත්වයක් ඇතිව තිබෙනවා.

මේ හේතුවෙන් ඉදිරි දශකයක කාලය තුළදී ටෙස්ට් තරග සංඛ්‍යාවේ අඩුවක් ඇතිවීමේ අවධානමක් තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කළ හැකි උපරිම සාධාරණය ඉටු කිරීමට අප මේ වන විටත් කටයුතු සැලසුම් කරමින් සිටිනවා.”

කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ වඩාත්ම බලපෑම් එල්ල වන රටවල් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළකර තිබූ ගේ‍රග් බාර්ක්ලේ “මෙහිදී ICC පූර්ණ සාමාජිකත්ව රටවල වුවත් ටෙස්ට් තරග සංඛ්‍යාව සීමා සහිත වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත්ව තිබීම කනගාටුදායක කරුණක්.

එමෙන්ම පසුගිය වසර 10ක පමණ කාලය තුළ වුවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට යම් බලපෑමක් එල්ල වූ බවත් නොරහසක්.

ඒ අනුව ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව හැර සෙසු පූර්ණ සාමාජිකත්වය දරන රටවල් ක්‍රීඩා කරන ටෙස්ට් තරග සංඛ්‍යාව ඉදිරි වසර 5ක කාලය ඇතුළත පවා ඉතා අඩුවනු ඇති. අකමැත්තෙන් වුවත් මෙම තත්ත්වයට එකඟ වීමට ඔවුන්ට සිදුවනවා.

කෙසේ වෙතත් ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන දැවැන්තයන් තිදෙනාගේ ටෙස්ට් තරග කාලසටහනේ කිසිදු වෙනසක් සිදුවනු ඇති බව මා සිතන්නේ නැහැ. ඔවුන් වර්තමානයේ තරග වදින අයුරින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වනු ඇති.” යනුවෙන් පවසා තිබීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button