Cricket NewsEXCLUSIVEInternational

IPL නිසා ජ්‍යේෂ්ඨයන් මගහැරුණු නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් නවසීලන්තය, ප්‍රභල පකිස්තානය පරාජය කරමින් තරඟාවලිය සමකරයි.!

සංචාරක නවසීලන්ත කණ්ඩායමත් පකිස්තානු කණ්ඩායමත් අතර පැවැති තරඟ 5 කින් යුත් විස්සයි-20 තරඟාවලියේ තීරණාත්මක අවසන් තරඟය ඊයේ රාවල්පින්ඩි හිදී පැවැත්වුණි. තරඟාවලියේ එක් තරඟයක් අයහපත් කාලගුණය නිසා අත්හැරදම තිබූ අතර ඊයේ වන විට තරඟ 2-1 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ලබාගෙන සිටියේ සත්කාරක පකිස්තානයයි.

මේ දිනවල පැවැත්වෙන IPL තරඟාවලිය හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් වැඩි ප්‍රමාණයක් මෙම තරඟාවලිය සඳහා එක්ව නොසිටි අතර තරඟාවලියට පෙර විචාරකයින්ගේ බොහෝ මතයන් අනපේක්ෂිත අන්දමින් වෙනස් වීම කැපී පෙනුණි.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටොම් ලැතම් සත්කාරක පකිස්තානුවන්ට මුලින්ම පන්දුවට පහර දෙන්නට ආරාධනා කර සිටියේය.ඒ අනුව මුලින්ම පන්දුවට පහර දෙන්නට පිටියට පිවිසි පකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 193 ක් රැස් කලේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් රිස්වාන් පන්දු 62 කදී නොදැවී ලකුණු 98 ක් රැස් කල අතර ඔහුගේ ඉනිම හතරේ පහර හතකින් හා හයේ පහර හතරකින් වර්ණවත් විය. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් බ්ලෙයාර් ටික්නර් කඩුලු තුනක් බිඳ හෙලීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි නවසීලන්තයේ ආරම්භය එතරම් සාර්ථක නොවූ අතර පන්දුවාර 10 ක් අවසන් වන විට ලකුණු 73 ට කඩුලු 4 ක් ලෙසින් ලකුණුපුවරුව දිස්විය. ඉන් අනතුරුව නවසීලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවූ මාක් චැප්මන් හා ජිමී නීශම් ලකුණු 121 ක නොබිඳුනු සබඳතාවයක් ගොඩනගමින් නවසීලන්තය ජයග්‍රහණය වෙත කැටුව ගියේය.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල මාක් චැප්මන් සියකුළුදුල් විස්සයි-20 ශතකය රැස් කල අතර ඔහු පන්දු පන්දු 57 කදී හතරේ පහර 11 ක් හා හයේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 104 ක් රැස් කලේය. ඔහුට අගනා සහයක් ලබා දුන් ජිමී නීශම් පන්දු 25 කදී ලකුණු 45 ක් රැස් කලේය.

ඒ අනුව පන්දුවාර 19 කුත් පන්දු 2 ක් අවසානයේදී කඩුලු 4 ක් පමණක් වැයකරමින් නියමිත ඉලක්කය පසු කරයන්නට සංචාරක නවසීලන්තය සමත් විය.

ඒ අනුව තරඟ 5 කින් යුත් තරඟාවලිය තරඟ 2-2 ක් ලෙසින් සමකරමින් නිමා කරන්නටද සංචාරක නවසීලන්තය සමත් වෙද්දී පස්වැනි හා අවසන් තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයාද වන්නට මාක් චැප්මන් සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7