Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League තරඟාවලියේ ශුරතාවය කමිඳු මෙන්ඩිස් ප්‍රමුඛ මහනුවර දිනා ගනී.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන්,මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් පවත්වනු ලබන අනාගත ක්‍රිකට් තරු සොයා යන නැෂනල් සුපර් ලීග් සිව් දින තරගාවලියේ අභිනව ශූරතාව දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු මහනුවර කණ්ඩායම ඊයේ (10) සමත්වුනා.

යාපනය කණ්ඩායමට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අදාළ ශූරතා කුසලානට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයද මහනුවර කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.

ඊයේ තරඟය ආරම්භ වන විටත් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කරගෙන සිටි මහනුවර කණ්ඩායම සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින් ලෙසින් කිරුළු පැළඳූහ.

එක්දින තරගාවලියේද අවසන් මහ තරග වරම් දිනාගනු ලැබුවේද මෙම කණ්ඩායම් දෙක වන නමුත්, එම අංශයේ ශූරතාව යාපනය කණ්ඩායම විසින් දිනාගනු ලැබීය.

කෙසේ වෙතත් එක්දින තරගාවලියේ අහිමි වුණු කිරුළ සිව්දින තරගාවලියේදී ලබා ගත් මහනුවර කණ්ඩායම එතෙක් යාපනය රැකගෙන ආ අපරාජිත භාවයද බිඳ හෙළමින් සිව්දින තරගාවලියේ ශූරයින් බවට පත්වූහ.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 444 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස යාපනය කණ්ඩායමට රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 227 ක් පමණි.

කෙසේ වෙතත් තරගයේ තෙවැනි දින අවසනදී යළිත් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියයේ.

මෙම සිව්දින තරගාවලියේ වීරයා ලෙසින් තරග 6 කදී ඉනිම 11 කට ක්‍රීඩා කොට ලකුණු 886 ක් ලබා ගත් මහනුවර කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් සම්මාන දිනාගත්ය.

ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.54 ක් රඳවා ගැනීමට සමත්වූ වමත් පිතිකරුවා ශතක 4 ක් සහ අර්ධ ශතක 4 ක්ද වාර්තා කරගත්තේය.

මේ අතර දක්ෂතම පිතිකරුවා ලෙස මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්නුද සම්මාන ලැබීය. මහනුවර කණ්ඩායමේ අංක 3 පිතිකරුවා ලෙසින් ක්‍රීඩා කළ ඕෂද ඉනිම 11 කදී ලකුණු 721 ක් රැස් කර ගන්නා ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 80.11 ක් රඳවා ගනිමිනි. ඔහුගේ නම ඉදිරියෙන් ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් සටහන් විය.

දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කොළඹ කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය සම්මාන දිනාගත්තේය. ජයසූරිය තරග 4 කදී කඩුලු 26 ක් දවා ලමින් මෙම සම්මානයට හිමිකම් කීවේය. ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.15 ක් වශයෙන් සටහන් විය.

මහනුවර පළමු ඉනිම – 444/10 (131.2)

යාපනය පළමු ඉනිම – 227/10 (89.1)

මහනුවර දෙවැනි ඉනිම – 52/1

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7