Cricket NewsDomestic CricketEXCLUSIVE

National Super League තරඟාවලියේ “කොළඹ” කණ්ඩායමේ අවසන් මහා තරඟ බලාපොරොත්තු ‘”කැන්ඩි” සුන් කරයි.!

තරුණ ක්‍රීඩකයන් සොයා යන ගමනක තවත් පියවරක් ලෙස පළමු වරට සංවිධානය කරන ලද National Super League එක්දින තරගාවලිය පසුගිය ජනවාරි 24 වන දා ආරම්භ වූ අතර මේ වන විට තරඟාවලියේ අවසාන අදියරට කෙමෙන් කෙමෙන් එළඹී තිබෙනවා.

මේ අතර ඕෂද ප්‍රනාන්දුගේ ධෛර්යවන්ත පිතිහරඹයද සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් ආරච්චිගේ සමඟ එක්ව ගොනංවන ලද ලකුණු 128 ක සම්බන්ධතාව හේතුවෙන් National Super League ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ කණ්ඩායමට එරෙහිව ඊයේ (10)  පැවැති තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණය සමඟ අවසන් මහ තරග වරම සඳහා කැන්ඩි කණ්ඩායම පහසුවෙන් ළඟාවද්දී කලම්බු කණ්ඩායමේ අවසන් මහ තරග බාලාපොරොත්තුව සුන් විය.

පල්ලකැලේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 272 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි කණ්ඩායම 29 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී තහවුරු කර ගත්තේය. ඒ වනවිටත් කොළඹ පන්දු යවන්නන් දවා ගැනීමට සමත්ව සිටියේ කඩුලු 4 ක් පමණි.

ජයග්‍රහණයේ වැඩි හවුල්කරුවන් වූ ඕෂද ප්‍රනාන්දු පන්දු 94 කදී ලකුණු 85 ක් ලබා සිටියේ සිය ඉනිම නොබිඳිව තබා ගනිමිනි. හයේ පහරක් හෝ වාර්තා නොවුණු එම ඉනිම හතරේ පහර 6 කින් පමණක් වර්ණවත්ව තිබිණ.

ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ පන්දු 76 කදී ලකුණු 64 ක් ලබා ගත්තේය. හතරේ පහර 7 කින් වර්ණවත් වුණු ආරච්චිගේ ඉනිමෙන් පසු ජයග්‍රහණය වේගවත් කළ පුලින තරංග පන්දු 22 කදී වේගවත් ලකුණු 32 ක් ලබා ගත්තේය. නායකයා දික්වැල්ල ලකුණු 26 ක් තිබියදී දැවී ගියත් කවීන් බණ්ඩාර සහ ළහිරු උදාර දෙවැනි කඩුල්ලට ලකුණු 45 ක් එක් කළහ.

කෙසේ වෙතත් දුර්වල පන්දු රැකීම්, උඩ පන්දු අත හැරීම් මෙන්ම පසු පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවය කලම්බු පිලේ අවසන් මහ තරග බලාපොරොත්තුව සුන් කරවීමට හේතු කාරක වූහ.

අද තරගයේදී වු සුවිශේෂි සිදුවීම වූයේ නැෂනල් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ශතකයට හිමිකම් කීමට කොළඹ පිලේ නුවනිඳු ප්‍රනාන්දු සමත්වීමයි.

මීට දින 2 කට ඉහතදී දඹුල්ලට එරෙහිව පැවැති තරගයේදී පන්දු 81 කදී ලකුණු 100 ක් ලබා ගත් නුවනිඳු අද දිනයේ වාර්තා කර ගන්නා ලද ශතකයත් සමඟ මෙවර තරගාවලියේ ශතක දෙකක් ලද එකම පිතිකරුවා බවට පත්වූවේය.

එපමණක් නොව මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරද පෙරමුණ ගැනීමට නුවනිඳු සමත්ව සිටියි. ඒ අනුව තරග 6 කට ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරුවා ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 54.66 ක් රඳවා ගනිමින් මුලු ලකුණ් 328 ක් ලබා ගෙන සිටියි. ඊට අද වාර්තා කරන ලද ශතකයද සමඟ ශතක 2 ක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වේ.

පෙර ශතකය තරම් වේගවත් නොවුණත් නුවනිඳගේ අද ශතකය කලම්බු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට බෙහෙවින් දායකත්වය දැක්වූවේය. නුවනිඳුගේ ඉනිම වටා කලම්බු ඉනිම ගොඩ නැඟිණ. පන්දු 133 කට මුහුණ දුන් නුවනිඳු අද දිනයේදී ලකුණු 112 ක් ලබා ගත්තේ සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගනිමිනි.

නුවනිඳුගේ ශතකය මෙවර තරග වාරයේ වාර්තා වුණු 5 වැනි ශතකය වූ අතර මීට පෙර ඕෂද ප්‍රනාන්දු (138), ධනංජය ද සිල්වා (102), සිතාර ගිම්හාන් (110) සහ නුවනිඳු ප්‍රනාන්දු (100) ශතක වාර්තා කළ පිතිකරුවෝ වූහ.

නුවනිඳුගේ ඉනිම ප්‍රධාන කොට කොළඹ පිල පන්දුවාර 49.3 කදී ලකුණු 271 ක් වාර්තා කර ගැනීමට සමත්විය.

පෙර තරගයේදී ශතක ලාභියකු වූ සිතාර ගිම්හාන් දැවී යෑමත් සමඟ පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු දිමුත් කරුනාරත්න එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67 ක් එක් කළේය.

නිරෝෂන් දික්වැල්ලගේ සුපිරි ස්ටම්ප් කිරීම හමුවේ කලම්බු නායකයාගේ ඉනිම ලකුණු 29 කදී සීමා වුවද පවත්වාගෙන ආ පිතිකරණ රිද්මය එලෙසින්ම රඳවා ගත් නුවනිඳු ශම්මු අශාන් සමඟ එක්ව සිව්වැනි කඩුල්ලට තවත් ලකුණු 109 ක් එක් කළහ. ඒ වෙනුවෙන් ශම්මිුගේ දායකත්වය පන්දු 70 කදී ලකුණු 62 කි.

පුලින තරංගගේ පන්දුවක් හමුවේ දැවී ගිය පස්වැනි පිතිකරුවා ලෙසින් නුවනිඳු පිටියෙන් ඉවත්වූවේය.

ඒ වන විටත් මුලු ලකුණු සංඛ්‍යාව 254 ක් ලෙස සටහන් ව තිබුණු එම අවස්ථාවෙන් පසු ආක්‍රමණය වැඩි කළ කැන්ඩි පන්දු යවන්නෝ ඉතිරි කඩුලු 5 ම ලකුණු 17 කදී බිඳ දැම්මේ පන්දුවාර 50 අවසන් වීමට පන්දු 3 ක් ඉතිරිව තිබියදීය.

පන්දු යැවීමේදී පුලින තරංග සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7