Cricket NewsEXCLUSIVE

මැතිව්ස්ගේ සහ චන්දිමාල්ගේ විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවය සමග දිනයේ සියලු ගෞරවය ශ්‍රී ලංකාවට – බංගලාදේශය අසීරු අඩියක.!

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 145) සහ දිනේෂ් චන්දිමාල් (124) එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 199 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් මීර්පූර් ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ස්ථානයකට කැඳවාගෙන යාමට සමත් වුනා.

තරගයේ සිව්වැනි දිනය වන අද (26 වැනිදා) සවස අයහපත් ආලෝක තත්වය නිසා තරඟය නතර කරන විට බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 34 ක් ලබා සිටියේය.

තවත් කඩුලු 6 ක් පමණක් අතැතිව සිටින බංග්ලාදේශය, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 107 ක් පසුපසින් සිටී. දැන් ඇත්තේ බංග්ලාදේශය පළමු ඉනිමේ මුහුණ දුන් ආකාරයේම තත්ත්වයකි.

මුල් ඉනිමේදී ලකුණු 24 කට කඩුලු 5 ක් අහිමි කරගත් බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 272 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මුෂ්ෆිකුර් රහීම් සහ ලිටන් දාස් දෙදෙනා බංගලාදේශය එම අගාධයෙන් ගොඩ ගැනීමට සමත් වුනා. එහෙත් බංග්ලාදේශය දින තුනකට පසුව නැවතත් එම අගාධයටම වැටී සිටී.

රහීම් සහ ලිටන් දාස් නැවතත් පිටියේ එක්ව සිටිති. ඉතිරිව ඇත්තේ තරගයේ අවසන් දිනය පමණක් වන බැවින් හෙට උදෑසන මෙම පිතිකරුවන් දෙදෙනාත්, පැමිණීමට සිටින ෂකිබ් අල් හසන්වත් දවාගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ වාසිදායක තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකිය.

අද තේ පානය වන විටත් කඩුලු 5 කට ලකුණු 459 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය වූයේ සිව්වැනි ඉනිමේදී නැවතත් පන්දුවට පහර දීම අමතක කරමින්, හැකි තරම් දිගු, මුල් ඉනිමේ වාසියක් අත්කර ගැනීමයි. එහෙත් තේ පානයෙන් පසුව ලකුණු වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී දිනේෂ් චන්දිමාල් දැවී ගිය අතර එතැන් සිට ලකුණු 41 ක් ඇතුළත ඉතිරි කඩුලු 5 ම බිඳ වැටිණ. තරගයේ ඉතිරිව තිබෙන්නේ අවසන් දිනය වන බැවින් පන්දවට පහරදීම එතරම් පහසු නොවනු ඇත.

වසර 22 ක් පසුපසට දිවයන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම 10 වතාවක් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 500 කඩයිම පසුකර තිබේ.

පළමු තරගයේදී ලකුණු 199 කට දැවී ගිය ඇන්ජලෝ මැතිව්ස් අද පිට පිටම දෙවැනි ශතකය ලබාගත්තේය. පන්දු 275 කින් පැමිණි මැතිව්ස්ගේ ශතකයට හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.

මැතිව්ස් ශතකයට ලකුණු 6 ක් මෑතින් සිටියදී කඩුලු රකින්නාට උඩපන්දුවක් දුන්නේ යයි තීරණය කළ විනිසුරු ජොයෙල් විල්සන් මහතා ඔහු දැවී ගිය ක්‍රීඩකයකු බවට සංඥා කළේය. එහෙත් සැණෙකින් එම තීරණය විමසීමට ලක්කළ මැතිව්ස්, පන්දුවත් පිත්තත් අතර සෑහෙන පරතරයක් තිබූ බව රූපවාහිනී ප්‍රතිදර්ශන සහ ‘අල්ට්‍රා එජ්’ තාක්‍ෂණයෙන් තහවුරු කළ බැවින් විනිසුරුවරයාට සිය තීරණය වෙනස් කිරීමට සිදුවිය.

අද විනිසුරු ජොයෙල් විල්සන් මහතාට බෙහෙවින් අසීරු දිනයකි. අද දිනයේ විල්සන් මහතා දුන් තීරණ 4 ක්ම විතීවි ක්‍රමවේදය හේතුවෙන් වෙනස් කිරීමට ඔහුට සිදුවිය.

මැතිව්ස් ශතකය ලබාගැනීමෙන් සුළු වේලාවකට පසුව, එකම ඕවරයකදී හතරේ පහර දෙකක් සහ තනි ලකුණක් ලබාගත් චන්දිමාල් පන්දු 181 කදී සිය ශතකය සම්පූර්ණ කළේය.

පිතිහරඹය පිළිබඳ චන්දිමාල්ගේ සිතිවිලි වෙනස් වී තිබෙන ආකාරයක් පැහැදිළිවම පෙනෙන්නට තිබේ. ඔහු තමන්ගේ පහරවලියේ තිබෙන සියලුම පහර මැනවින් ප්‍රයෝජනයට ගත්තේය. ඩ්‍රයිව්, කට්, ලේට් කට් මෙන්ම පුල් පහරද ඉතා අලංකාරව භාවිතා කළ ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා, කිසිදු බිය සැකයකින් තොරව තම සීමා ඉරෙන් ඉදිරියට පැමිණෙමින් ක්‍රීඩකයන්ගේ හිසට ඉහළින් පන්දුව යැවීමටද පසුබට නොවීය. මෙය චන්දිමාල් වසර 4 කට පසුව ලබාගත් ටෙස්ට් ශතකයකි.

මැතිව්ස් – චන්දිමාල් සම්බන්ධතාව බිඳ දැමීමට බංග්ලාදේශ පන්දු යවන්නන් මෙන්ම කඩුලු රකින්නා වන ලිටන් දාස් ද තමන්ට කළ හැකි සෑම දෙයක්ම කළහ. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනාගේ අධිෂ්ඨනශීලී පිතිහරඹය ඔවුන් දෙදෙනාවම කඩුල්ලේ රඳවා තැබූහ.

චන්දිමාල් ලකුණු 43 ක් ලබා සිටියදී, මොමිනුල් හක්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින්නා උඩපන්දුවක් ලබාගත්තේ යයි කළ ඉල්ලීමක් විනිසුරු ජොයෙල් විල්සන් මහතා විසින් අනුමත කරන ලදි. සැණෙකින් විතීවි සහාය ලබාගත් චන්දිමාල්, පන්දුව ඇදී ගියේ තමන්ගේ පිත්තට බොහෝ ඈතින් බව සනාථ කර පෙන්වූයේය. විනිසුරුවරයාට සිය තීරණය වෙනස් කිරීමට සිදුවිය.

ඉන් මඳවේලාවකට පසුව චන්දිමාල් ස්ටම්ප් කිරීමකට හසුකර ගත්තේ යයි ලිටන් දාස් කෑගසා කීවේය. එම ස්ටම්ප් කිරීම දෙස කෝණ කිහිපයකින් බැලූ තුන්වැනි විනිසුරු රිචඩ් කෙට්ල්බරර් මහතා, චන්දිමාල්ගේ සපත්තුවේ ඉතා කුඩා කොටසක්, පිතිකරුවාගේ සීමා ඉරට පසුපසින් තිබූ බැවින් චන්දිමාල්ට පිටියේ සිටීමට අවසර දුන්නේය.

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමේ විශාල අවස්ථාවක් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන අතර හෙට පැවැත්වෙන තරඟයේ 5වන සහ අවසන් දිනය අතිශයින්ම තීරණාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button