Cricket NewsEXCLUSIVE

Mushfiqur Rahimගේ සහ Litton Dasගේ විශිෂ්ට ද්විත්ව ශතක සබඳතාවය හේතුවෙන් ලකුණු 24ට කඩුලු 5ක් දැවී දැඩි අගාධයක සිටි බංගලාදේශය ස්ථාවර මට්ටමකට පැමිණෙයි.!

ලකුණු 24 ක් ඇතුළත කණ්ඩායමෙන් බාගයක්ම (කඩුලු 5ක් )ආපසු ක්‍රීඩාගාරයට ගොස් සිටියදී එක්වූ Mushfiqur Rahim නොදැවී ලකුණු 115ක් රැස් කරමින් සහ Litton Das නොදැවී ලකුණු 135ක් රැස් කරමින්, මීර්පූර් ටෙස්ට් තරගයේදී බංග්ලාදේශය වැටී සිටි අගාධයෙන් ගොඩ ගැනීමට සමත් වුනා.

දෙදෙනා එක්ව, හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 253 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින්, අද පෙරුවේ පළමු අඩහෝරාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දකිමින් සිටි සුන්දර සිහින සියල්ලම සී සී කඩ විසුරුවා හැරියා.

මිර්පූර් නුවරදී අද (23 ) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු අඩහෝරාවේදී ලකුණු 24 කට කඩුලු 5 ක් අහිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම අද සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 කට 277 ක් දක්වා සිය ලකුණු සංඛ්‍යාව ඔසවා ගැනීමට සමත්ව සිටියා.

දිවා ආහාරය වන විට 66 ක් දක්වා ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගිය මුෂ්ෆිකුර් සහ ලිටන් දාස් එතැන් සිට තේ පානය දක්වාම තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගනිමින් එම කාලය ඇතුළත ලකුණු 87 ක් තම පිලට එකතු කළහ.

ලිටන් දාස්ගේ ලකුණු 135 න් ලකුණු 103 ක්ම ගලා ආවේ පා ඉන්න පැත්තෙනි. ඒවායිනුත් 90්‍ර කට වැඩි කොටසක් ‘වයිඩ් මිඩ් ඕන්’ සහ ‘ඩීප් ෆයින්’ ලෙග් කලාප අතරෙනි. කිසිම පැකිළීමකින් තොරව, පුල් සහ හුක් පහර කරා ගිය ලිටන් දාස්ට ඒ සඳහා පහසුකම් සැපයූයේ දිගින් දිගටම කෙටි පන්දු යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ය.

ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ගේ පන්දු යැවීම බෙහෙවින් දුර්වල මට්ටමක පැවැති අතර දිගින් දිගටම යැවුණු කෙටි පන්දු හමුවේ හොඳින් ස්ථානගත වෙමින් ඒවා මිඩ් විකට් හෝ ස්ක්වෙයාර් ලෙග් කලාපය හරහා හතරේ සීමාවට යැවීමට ලිටන් දාස් පසුබට නොවීය.

කෙසේ වෙතත් මුලු ලකුණු සංඛ්‍යාව 100 ආසන්නයේ තිබියදී ලිටන් දාස්ට උගුළක් ඇටවූ දිමුත් කරුණාරත්න ඔහුගේ පා ඉන්න පැත්තේ ක්‍රීඩකයන් රඳවා අසිත ප්‍රනාන්දුට පන්දුව බාර කළේය.

ලිටන් ගැසූ හුක් පහරක් වැරදී යාමෙන් ඉහළ ගිය පන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයට ඉහළින් යද්දී, අතිරේක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් පස්සෙන් පස්සට දිවගිය නමත් ඔහුගේ උරහිසට ඉහළින් උඩ පන්දුව බිම වැටිණ. ඒ වන විට ලිටන් දාස් ලබා සිටියේ ලකුණු 47 කි.

එතැන් සිට ආපසු නොබැලූ ලිටන් දාස්, කණ්ඩායම ගොඩගැනීමේ කඹය අත නොහැරම සිටිමින්, පළමු ටෙස්ට් තරගයේදී ලබාගත නොහැකි වූ ශතකය අද ලබාගත්තේය.

ඒ වෙනුවෙන් පන්දු 155 කට මුහුණ දුන් දකුණත් පිතිකරුවා ඒවායින් 13 ක් හතරේ සීමාවෙන් එපිටට යැවීය.

පළමු ටෙස්ට් තරගයේදීත්, ලකුණු සංඛ්‍යාව 220 ක් ව තිබියදී ටමීම් ඉක්බාල් මස්පිඬුවක ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව යාමෙන් පසු, මුෆ්ෆිකුර් රහීම් සමග එක්වූ ලිටන් දාස් 385 දක්වා බංග්ලාදේශයේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙන ගියේය. එම සම්බන්ධතාව නොවන්නට පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව තිබිණ.

බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 කඩයිම පසුකළ පළමු පිතිකරුවා වන මුෂ්ෆිකුර් රහීම්, චිතගොන්හිදී නතර කළ තැනින් අද ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් දුටුතැන පහර දීමේ පුරුද්දක් ඇති මුෂ්ෆිකුර් පිට පිටම දෙවැනි ශතකයක් ලබාගත්තේ පන්දු 218 කින් 12 ක් හතරේ සීමාවෙන් එපිටට යවමිනි.

කම්පන ආදේශකයන් ලෙසින් ටෙස්ට් කණ්ඩායම් වලට එක්වන ක්‍රීඩකයන්ට හොඳ අනාගතයක් තිබේ. ඕස්ට්‍රේලියාවේ මානස් ලැබුෂේන් මෙන්ම ශ්‍රී ලංකාවේ කසුන් රාජිතද එවැනි ක්‍රීඩකයෝ වෙති.

එතරම් වේගයෙන් පන්දු නොයවන නමුත් සාමාන්‍ය වශයෙන් පැයට කිලෝ මීටර 130 ඉක්මවන කසුන් රාජිත අද පෙරවරුවේදී කළ අති විශිෂ්ට පන්දු යැවීම නිසා බංග්ලාදේශය අලි අමාරුවක වැටුණේය.

තරගය ආරම්භ කරමින් කසුන් රාජිත යැවූ දෙවැනි පන්දුවේදීම මහමදුල් හසන් ලකුණු නොලබා දැවී ගියේය. අසිත ප්‍රනාන්දු හමුවේ ලකුණු 16 කට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි බංග්ලාදේශය උස්සා පොළොවේ ගැසූ කසුන් රාජිත පිට පිටම යැවූ පන්දු දෙකකින් නජ්මුල් හොසේන් සහ සකිබ් අල් හසන් පිටියෙන් ඉවත් කළේය.

එහෙත් මුෂ්ෆිකුර් රහීම් සහ ලිටන් දාස් එක්ව, අගාධයට වැටී සිටි බංග්ලාදේශ කණ්ඩායම කර තබාගනිමින් ගොඩට ගෙන ආවෝය. අතිශය වාසිදායක තත්ත්වයක් නිසි ඉලක්කයකින් මෙන්ම පාලනකින් තොර පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතින් ගිළිහී ගියේය.

හෙට තරගයේ දෙවැනි දිනයයි. අද තරඟයේ කෙටි ලකුණු පුවරුව පහතින්,

බංගලාදේශ පළමු ඉණිම – 277/5

Litton Das – 135*
Mushfiqur Rahim – 115*

Kasun Rajitha – 43/3
Asitha Fernando – 80/2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button