Cricket NewsEXCLUSIVEWoman Cricket

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම කාන්තා එක්දින තරඟාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් නාවික හමුදාවට.!

අවසන් දිනය දක්වා තියුණු මුහුණුවරක් ගනු ලැබූ අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් පන්දුවාර 50 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම පසුගිය දා (19) සමත්වුනා. ඔවුන් මෙවර ශූරතාව දිනාගනු ලැබුවේ පිට පිටම දෙවැනි වතාවට වීම විශේෂත්වයකි.

තරගාවලියේ අවසන් දිනයේදී ශූරතාව දිනා ගැනීමට නම් නාවික හමුදා කණ්ඩායමට, යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේ ජය ප්‍රසාද ලකුණද සමඟ අත්‍යවශ්‍ය විය.

විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එක් පිලකට පන්දුවාර 22 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී යුද හමුදා ‘බී’ කණ්ඩායම ලබා දුන් ලකුණු 41 ක ඉලක්කයක කිසිදු කඩුල්ලක් ලබා නොදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ රැස් කරගනු ලැබුවේ ශූරතාව දිනා ගැනීම සඳහා වන ප්‍රසාද ලකුණද සමඟිනි.

ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න අද වන තෙක්ම තුන් කොන් සටනක් බවට පත්ව තිබුණු මෙවර තරගාවලියේදී සීනිගම කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවීම නිසා ශූරතා දිනා ගැනීමේ බලාපොරොත්තු ඔවුන් අතින් ගිලිහිණ.

යම් හෙයකින් එම තරගය ප්‍රසාද ලකුණ සමඟ ජය ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත්වූයේ නම් ශූරතා දිනූ නාවික හමුදා පිලේ සහ ගුවන් හමුදා ‘ඒ’ පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 30 බැගින් සමාන තත්ත්වයට පත්වනු ඇත.

ඒ අනුව ශූරියන් කවුරුන්ද යන්න දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම් වනු ඇති බැවින් එහි වැඩි වාසිය ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සතු වනු ඇත. මන්ද යත් නාවික හමුදා පිලේ (2.377) ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා ගුවන් හමුදා ‘ඒ’ පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය (2.429) වැඩි අගයක් ගත් බැවිනි.

මෙවර තරගාවලියේ තරග 7 කට ක්‍රීඩා කර ඇති හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු නාවික හමුදා පිල සහ ගුවන් හමුදා ‘ඒ’ පිල ජයග්‍රහණ 6 ක් සහ එක් පරාජයක් ලබා සිටින නමුත්, ලබා සිටින ජයග්‍රහණ 6 න් 5 ක්ම ප්‍රසාද ලකුණු සහිතව ජය ගැනීමට සමත්වීම නිසා නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි.

මූලික වටය යටතේ නාවික හමුදාව මුණ ගැසුණු තරගයෙන් ගුවන් හමුදා ‘ඒ’ පිල ජය ගැනීමට සමත් වුවත් එම තරගයේ ප්‍රසාද ලකුණ ලබා ගැනීමට ගුවන් හමුදා පිලට නොහැකිවීමද අවසානය කණගාටුදායක තත්ත්වයකට පත්වීමට හේතු කාරක වූවේය.

මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 22 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 39 ක් ලබා ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවද ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නාවික හමුදා පිලට හිමිවූ ලකුණු 41 ක ඉලක්කය පන්දුවාර 10 කදී ලබා ගැනීමට සමත්විය.

ඒ වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 22 ක් සහ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 19 ක් රැස් කරගත්හ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 04 කට කඩුලු 3 ක් දවා ගගනිද්දී උමේෂා තිමේෂානි ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තාහ.

මේ අතර අද දිනයේ පැවැති සෙසු තරග වලදී යුද හමුදා ‘ඒ’ කණ්ඩායම සහ හලාවත මේරියන්ස් අතර තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර ගුවන් හමුදා ‘ඒ’ සහ සීනිගම තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27 ක ජයක් ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම විසින්ද කෝල්ට්ස් පිලට එරෙහි තරගය ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම විසින් කඩුලු 6 කින්ද ජය ගැනීමට සමත්වූහ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7