Cricket NewsEXCLUSIVEMatch Review

බංගලාදේශය අන්ත පරාජයකට ඇද දැමු නවසීලන්තය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරයි.!

අද ටෙස්ට් පිටියෙන් සමුගත් රොස් ටේලර්, සිය අවසන් තරගයේදී අනගි මතක සටහනක් ඉතිරි කරගනිමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී අවසන් කඩුල්ල දවාගත්තේ ඉනිමක සහ ලකුණු 117 ක ජයක් නවසීලන්තයට හිමිකර දෙමිනි.

මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකි විය.

පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වූ ලිටන් දාස්, නොදැවී ලකුණු 102 ක් ලබාගත්තද බංග්ලාදේශ දෙවැනි ඉනිම ලකුණු 278 කට නිමා විය.

ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් බංග්ලාදේශය සිය දෙවැනි ඉනිමේදී ලකුණු 395 ක් ලබාගත යුතුව තිබිණ.

දෙවැනි ඉනිමේදී බංග්ලාදේශයේ ඉදිරිපෙළ පිතිකරුවෝ කඩුලු 3 කට 123 ක් දක්වා තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියහ. එහෙත් මොමිනුල් හක් දැවීයාමෙන් පසුව බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ලිටන් දාස්, ලකුණු සංඛ්‍යාව 269 වනතෙක්ම කඩුල්ලේ රැඳී සිටියේය.

කයිල් ජැමීසන් (82/4) සහ නීල් වැග්නර් (77/3) දෙදෙනා තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වූවද නුරුල් හසන් සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක නිරත වූ ලිටන් දාස්ගේ පැය 3 කට මඳක් දිගු වූ ඉනිම හතරේ පහර 14 කින් සහ හයේ පහරකින් හැඩ වුනා.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලියේ පළමු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 8 ක විශිෂ්ට ජයක් ලැබිණ.

37 හැවිරිදි වියේ සිටින රොස් ටේලර්ගේ අවසන් ටෙස්ට් තරගය වූයේද අද තරඟයයි.

සාමාන්‍යයෙන් පන්දු නොයවන නමුත් අවසන් ඕවර කිහිපය යැවූ රොස් ටේලර් එබාදත් හොසේන්ගේ කඩුල්ල දවාගනිමින් නවසීලන්ත ජයග්‍රහණය සම්පූර්ණ කළේය.

ටෙස්ට් පිටියෙන් නික්ම යන විට නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව ලබා සිටි රොස් ටේලර්ගේ නමට ඉදිරියෙන් ලකුණු 7,683 ක් සටහන් වී තිබිණ.

නවසීලන්ත පළමු ඉනිම – 521/6

බංග්ලාදේශ පළමු ඉනිම – 126/10

බංග්ලාදේශ දෙවැනි ඉනිම – 278/10

තරඟයේ වීරයා සම්මානය Tom Latham හටත් තරඟාවලියේ වීරයා සම්මානය Tom Latham(NZ) හටත් හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7