Cricket NewsEXCLUSIVEFuture Stars

තරඟ 6කට පමණක් සහබාගි වූ නිෂාන් මධුෂංක ත්‍රිත්ව ශතකයක්, ශතක 4ක් සහ අර්ධ ශතක 3ක් රැස් කරමින් ලකුණු දහසේ සිමාව පසු කරයි.!

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලබාගත් අර්ධ ශතකයත් (ලකුණු 70ක්) සමග මෙවර තරගවාරයේදී ලකුණු 1000 සීමාව පසුකර ගිය පළමු පිතිකරුවා බවට පත්වීමට රාගම ක්‍රීඩා සමාජයේ නිෂාන් මධුෂංක සමත් විය.

එහිදී කැපී පෙනෙන සිදුවීම වූයේ ලකුණු 1000 සීමාව පසුකර යෑම සඳහා නිෂාන් සහභාගි වී තිබුණේ තරග 6 කට පමණක් වීමය.

ඉනිම් 9 ක් ක්‍රීඩා කරමින් ඔහු ලබාගත් ලකුණු 1025 ට ත්‍රිත්ව ශතකයක්, ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළත් විය. එහිදී 146.42 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයකට හිමිකම් කියන නිෂාන්, තරග 6 පුරා හයේ පහර 12 ක් සහ හතරේ පහර 99 ක්ද එල්ල කර ඇත.

රාගම කණ්ඩායමේ කඩුලු රකින්නාද වන නිෂාන්, මොරටු විද්‍යාලයෙන් ක්‍රීඩාවට පිවිසි දකුණත් පිතිකරුවෙකි. වයස 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින්ද දස්කම් දැක්වූ ඔහු තවමත් 23 වැනි වියේ පසුවන්නේය. 2020 වසරේ පැවැති ලංකා පිහිමියර් ලීග් තරගාවලියේදී නිෂාන්, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමටද ඇතුළත්ව සිටියේය.

මෙවර තරගවාරයේදී සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව හයේ පහරක් සහ හතරේ පහර 26 ක් සමග නොදැවී ලබාගත් ත්‍රිත්ව ශතකය (ලකුණු 300*) නිෂාන්ගේ හොඳම පළමු පෙළ ඉනිම බවටද පත්විය. තවමත් ක්‍රීඩා කර ඇත්තේ පළමු පෙළ තරග 32 කට පමණක් වුවත්, එහිදී ලකුණු 2821 රැස්කිරීමට ඔහු සමත්ව ඇත්තේ 62.68 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රඳවාගනිමිනි.

ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැති තරගයේ ඉනිම් දෙකේදීම ශතක ලබාගනිමින් ( ලකුණු 150 සහ නොදැවී ලකුණු 100) මෙවර තරගවාරය ඇරඹූ නිෂාන්, ඉන් අනතුරුව බී.ආර්.සී. ක්‍රීඩා සමාජයට සහ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිවද ( ලකුණු 107 සහ ලකුණු 125) ශතක වාර්තා කළේය. ඔහු අර්ධ ශතක ලබාගත්තේ කුරුණෑගල ( ලකුණු 62), පොලිස් ( ලකුණු 81) සහ කැන්ඩි කස්ටම්ස් ( ලකුණු 70) යන ක්‍රීඩා සමාජවලට එරෙහිවය.

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන කොළඹ ක්‍රීඩා සමාජයේ කමිඳු මෙන්ඩිස් සහ තෙවැනි ස්ථානයේ පසුවන සිංහල ක්‍රීඩා සමාජයේ නුවනිඳු ප්‍රනාන්දු, නිෂාන්ට වඩා ලකුණු 400 ක් පමණ පසුපසින් සිටීමෙන් නිෂාන්ගේ පිතිහරඹය තවත් කැපී පෙනේ.

මේ වන විට ද්විත්ව ශතකයක් සහ ශතක සහ අර්ධ ශතක 3 ක් සමගින් කමිඳු ලකුණු 603 ක් ලබාගනිද්දී, නුවනිඳු ලකුණු 601ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ශතක 4 ක් සහ අර්ධ ශතක 2 ක් සමගිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button