Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්‍රණයේ තහවුරු කළ සාක්කි නැති නිසා විමර්ශනය නවතී?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පැවැති බවට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට ඔහුගෙන් තහවුරු කළ හැකි සාක්ෂි ලැබී නැති බැවින් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ආරම්භ කළ විමර්ශනය අත්හැර දැමීමට සිදුව ඇතැයි වාර්තාවේ.

ඔහුගේ අදාළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකය උපදෙස් ලබාදුන්නේ එවකට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා විසිනි.

ඒ අනුව ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයේ කැඳවීම් හමුවේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 21 හා 27 යන දිනවලදී එහි පෙනී සිටිමින් කට උත්තර ලබා දුන්නේය. ඔහු එහි පෙනී සිටි මුල් දිනයේදී පැය පහකට ආසන්න කාලයක් පුරා ප්‍රශ්න කරමින් ඔහුගෙන් සාක්ෂි සටහන්කර ගැනීමට එම ඒකකය කටයුතු කළේය.

මෙම දින දෙකේදීම නීතිඥ ෂිරාල් ලක්තිලක මහතා සමග ඔහු පොලිස් ක්‍රීඩා වැරැදි ඒකකයේ පෙනී සිටීමට කටයුතු කළේය.

පසුගිය නොවැම්බර් 14 වැනිදා දීර්ඝව කරුණු දක්වමින් මාධ්‍ය නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය පිටුපස තරග පාවදීමේ සූදුවේ නිරත තැරව්කරුවන්ද ජාතික කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගැනීමට වෙර දරන පුද්ගලයන් මෙන්ම මෙම ක්‍රියාවන්ට අතදිගහැර වියදම් කරන්නන්ද සිටි බවට කරුණු හෙළිදරව් වන බවයි.

කෙසේ වුවත් ඔහුගේ මාධ්‍ය නිවේදනයට පදනම්වූ කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විමසීමේදී ඔහු ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයට සාක්‍ෂි ලෙස ලබාදී ඇත්තේ මෙරට ක්‍රිකට් ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමැතිවරුන් කළ ප්‍රකාශයන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළවූ තොරතුරුය.

එම කාරණාවන් තුළ තමන්ට ක්‍රිකට් පරාජය පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවට ඒත්තු යන ආකාරයක් දැණුනු බව ප්‍රමෝදය වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ක්‍රීඩා වැරැදි පොලිස් ඒකකයට පවසා තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් එම ඒකකයට කැඳවීම් නොකරන අතර ඔහුගෙන් ඒකකය සටහන් කරගත් ප්‍රකාශයන් සම්බන්ධයෙන් වාර්තාවක් රජයේ නීතිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇත.

වසර 2011 ඉන්දියාවේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අනුශූරතාව ලද ශ්‍රී ලංකා කණ්ඩායම තරග පාවාදීමක් සිදුකර ඇති බවට එවකට ක්‍රීඩා ඇමතිවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුව කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකය විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ සඳහා එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඇතුළුව මහේල ජයවර්ධන, එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය දැරූ අරවින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පීරිසකගෙන් ද ඒකකය කැඳවීම් කර සාක්‍ෂි සටහන්කර ගත්තේය.

කෙසේ වුවත් එම විමර්ශන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගනිමින් අත්හැර දැමීමට ක්‍රීඩා වැරැදි සෙවීමේ ඒකකය කටයුතු කළේ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ තරග පාවාදීමේ චෝදනාව සනාථ කළ හැකි අන්දමේ සාක්‍ෂි කිසිවක් හෙළිදරව් නොවූ බවට කරුණු දක්වමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button