Cricket NewsEXCLUSIVETrending Article

ක්‍රිකට් ලෝකයම සියතට ගන්න පෙරුම්පුරන ‘තොටුපොළ නගරයේ උපන් ‘නිලන්ති අම්මාගේ නෙළුම් මල් පුතා’ – පැතුම් නිස්සංක

‘තොටුපොළ නගරයේ උපන් ‘නිලන්ති’ අම්මාගේ නෙළුම් මල් පුතා ඔහු ය. තණකොල මලක් ව පෑගී යාමට නොදී අසීරුවෙන් ඔහුට මූලික පුහුණුව ලබාදුන් ‘සුනිල්’ තාත්තාගේ පුතා යැයි හැඳින්වෙන්නේ ද ඔහු ය.

පසුව කළුතර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අචේකාර් සර් යැයි අවිවාදයෙන් සැලකෙන ‘සළුවඩන සර්’ ගේ ආදරණීය ගෝල බාලයා ඔහු ම ය. මේ ජාත්‍යන්තරය දිග්විජය කරන්නට සැරසී සිටින මෙරට අනාගත ක්‍රිකට් පැතුම වන පැතුම් නිශ්ශංක ගැනය.’

කළුතර තොටුපොළ නගරයකි. එය එසේ හැඳින්වෙන්නේ එම නගරය පිහිටා ඇත්තේ කළු ගං කොමලිය මුහුදට වැටෙන ආසන්නයේ වන හෙයිනි. එහෙත් එය තොටුපොළ නරගය කැ යි කීවේ බොහෝ කාලයකට පෙර ය. ඒ භාණ්ඩ ප්‍රවාහනය සඳහා පාරු උපයෝගී කරගත් වකවානුව දැන් අවසන්ව ඇති හෙයිනි.

එකල මෙරට විශිෂ්ටතම තොටුපොළ නගරය යැයි හැඳින් වූව ද දැන් කළුතරට තොටුපොළ නගරයකැයි කිය්නනේ නැත. එසේම එම නගරය දැන් ප්‍රසිද්ධව ඇත්තේ කාරණාවන් දෙකක් අරභයා ය.

ඉන් පළමු වැන්න එහි වැඩවෙසෙන අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන්වහන්සේගෙන් පැවත එන දෙතිස් පැල බෝධීන් වහන්සේ නමක වන කළුතර බෝධිය ය. දෙවැන්න වනුයේ ජාත්‍යන්තර ජයගන්නට කදිම ක්‍රිකට් ක්‍රීඩකයන් උපදවන බලාගාරයක මුවදොර නගරය ලෙස දැන් කළුතර සැලකිය හැකි හෙයිනි.

කලකට පෙර දුලිප් ලියනගේ, ජයන්ත සිල්වා, තිලකරත්න ඩිල්ෂාන්, මිලින්ද සිරිවර්ධන, මාලිංග බණ්ඩාර ආදී වශයෙන් සුවිශේෂී ක්‍රීඩකයන් බිහිකළ පුරවරයක් වූ කළුතරින් දැන් බිහිවී ඇති විශිෂ්ටතම අනාගතය සේ සැලකිය හැක්කේ පැතුම් නිශ්ශංක ය.

පැතුම් සුපැතුමක් ව පිපුණු හැටි

පැතුම් ගේ පියා කවුරුත් දන්නා ආකාරයට ක්‍රීඩාංගණ කම්කරුවෙකි. ප්‍රබල ක්‍රීඩකයන් වෙනුවෙන් ක්‍රීඩාංගණ සකස්කිරීමේ සහය කාර්ය මණ්ඩල සාමාජිකයෙකැයි කිව හැක. එහි ප්‍රතිඵලය වූයේ ඔහු තම සිඟිති පුතුට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් මූලික අධ්‍යාපනය ලබාදීමට පෙළඹීම ය.

සෑම දෙයකම ආරම්භය සුමට නැත. පැතුම්ගේ පියා වන ‘සුනිල් අයියා’ ට ද තම පුතු වෙනුවෙන් බොහෝ පහසුකම් සලසා ලීම අසීරු විණි. එහෙත් ඔහු එය කළ නොහැක්කකැයි අතහැර දැමුවේ නැත.

කුඩා කල සිට ධානපතියකුගෙන් එසේත් නැතහොත් තමන් හා මිත්‍ර ක්‍රීඩකයකුගෙන්, පුහුණුකරුවකුගෙන් සපයා ගත් ක්‍රිකට් පිත්තක් වැනි සෙසු අඩුවැඩිය තම පුතුට ලබාදෙමින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට රැගෙන යාමට ඔහු දැඩිලෙස උත්සුක වූයේ ය.

මල් අම්මා

සමාජ මාධ්‍ය ජාලා අනාවරණය කරන ආකාරයට පැතුම් ගේ මව ද කළුතර බෝධිය අසළ මල් කඩ ව්‍යාපාරයක නිරත වූ තැනැත්තියකි. ඈ දිගුකලක් තිස්සේ බෝ සමිඳු පුදන්නට කළුතරට පැමිණෙන දහස් ගණනක් වූ බැතිමතුන්ට මල් අලෙවි කළා ය.

ඇතැම් විට ඇගෙන් මල් මිලදී ගන්නට ආ කුඩා දරුවකු, අහිංසක මවක, පියෙකු ගේ මල් වට්ටියට නොමිලේ මලක්, වැඩිපුර මල් කීපයක් එක්කළ අවස්ථා නොතිබුණා නොවේ. ඒ සෑම කටයුත්තක දී ම ඈ කළුතර බෝධීන් වහන්සේ දෙස බලා එකම එක පාරමිතාවක් පිරුවාය. ඒ තමන් මෙන්ම තම සැමියා ගතකරනු ලබන රූක්ෂ ජීවිතය කවදා හෝ තම දරුවන්ට උරුම නොවේවා යන්න ය. දැන් එය සැබෑ වෙමින් පැවැතීම අපූරු ය.

පන්තිය

මාස කීපයකට පෙර හා හාපුරා කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කැඳවා තිබූ පැතුම් එහි පැමිණ සිටියේ තම මව සමඟ ය.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පොරෙත්තු වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ ජාලයන්හි වේගයෙන් හුවමාරු විය. එම ඡායාරූපයෙන් ලබාදෙන ප්‍රබලම පණිවුඩය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු සාමාන්‍ය මිනිසුන් තුළ ගින කන වට්ටන සුළු හැඟීමක් ගොඩනංවන ආයතනයක් බව ය.

එහෙත් ඒ ආලෝකයෙන් ගිනි කන වැටෙනවා වෙනුවට පැතුම් කළේ සිය පිත්තට කතාකරන්නට ඉඩ දී ලෝකයේ රටවල් ගණනාවක ප්‍රබල පන්දුයවන්නන් සතයකටවත් මායිම් නොකර ළෙලවීම ය.

එය පළමුවරට ඔහු කළේ පසුගිය වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව් හි පැවැති සිය මංගල ටෙස්ට් තරගයේ දී ය. මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩකයකු විදේශයකදී සිය මංගල ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශතකයක් රැස්කළ පළමු අවස්ථාව පැතුම් එදා සනිටුහන් කළේ ය.

සිරුරින් කුඩා වාසනාවෙන් පොහොසතා

පැතුම් නිශ්ශංක මහා සද්දන්ත දේහ ධාරී ක්‍රීඩකයකු නොවේ. ඔහු සිරුරින් කුඩා ක්‍රීඩකයෙකි. පෙනුමට වඩා පිටියේ සිදුකරන ක්‍රීඩාවේදී වඩා සාර්ථක විභවතා ඇත්තෙකි. දැන් ඔහු ගැන කතානොකරන කෙනෙක් නැත.

කළුතර මල් අම්මාගේ පුතා, ක්‍රීඩාංගණ කම්කරුවාගේ පුතා යැයි ඇතැමුන් ඔහුව හඳුන්වයි. මේ සියලු දෙනා පැතුම් නිශ්ශංක අපේ එකෙකැයි කියන්නට කැමතිය. එහිදී බොහොමයක් දෙනා ඔහුට ආදරය බෙදන්නේ තම පන්තියේ හෝ සමාජයේ දරිද්‍රතාවයේ පහළම අඩියේ සිට සමාජයේ විශිෂ්ටත්වයේ මතු මහලට නැග ඒමට පැතුම් සමත් වූ හෙයිනි.

එහෙත් පන්තිය අනුව සලකා ඔහු කෙරේ විශේෂණයක් සිදුකිරීමට අවශ්‍ය නැත. උපධි සම්පත්වලට අනුව පැතුම් නිශ්ශංක උපන්නේ කළල් පිරි බිමික බව සැබෑ ය. එහෙත් ඉන් මිදී ඉහළට ආ ඔහු සැබෑම නෙළුමකි. අධිෂ්ඨානයෙන්, වීර්යයෙන් සපිරි යෞවනයෙකි.

ඔහු බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය හා කළුතර දිස්ත්‍රික්කය වෙන්කරන කළුතර පාලමට මඳක් ඔබ්බෙන් පිහිටි සුන්දර ගම් පියසක උපන්නේ ය. මේ ආකාරයේම විශිෂ්ට පිතිකරුවකු මීට කලකට පෙර කළුතර පාලමෙන් ඔබ්බේ කොළඹ දිස්ත්‍රික්කය තුළින් ද බිහිවිය. එහෙත් ඔහුට සිය විභවතාවය නිසි පරිදි කළමනාකරණය කිරීමට නොහැකි විය. ඒ තමා සොයා පැමිණි ධනය, බලය, කීර්තිය පාලනය කරගැනීමට නොහැකිවම හේතුවෙනි.

දැන් එකී විශිෂ්ටත්වයේ භාග්‍ය හිමිකරගනිමින් කලකට වරක් බිහිවන විශිෂ්ට පිතිකරුවකු බවට පත්ව සිටින පැතුම් නිශ්ශංක මෙරට ක්‍රිකට් කරළියේ ඉදිරියට යාමේ දී තමා කරා පැමිණෙන ගෞරවය, කීර්තිය නිසි පරිදි දරාගැනීමට සමත්විය යුතු ය. බොරු වළවල්, කුමන්ත්‍රණවලට කල්පනාකාරීව මුහුණදිය යුතු ය.

ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අසීරු ගමන ඇරඹෙන්නේ දැන් ය. ඒ අසීරු ගමනේ පළමු ගව් කීපය ඉදිරියට යාම ඔහු ආරම්භ කර ඇත. එය දක්ෂතා උපයෝගී කරගනිමින් පමණක් යන්නට හැකි ගමනක් නොවේ. ඊට නිසි කළමනාකරණයක් අවශ්‍යය. කිසිදු සිද්ධියකින් අධෛර්යයට පත්නොවීම වැදගත් ය. අවශ්‍ය වන්නේ තමන් යායුතු ගමන් පෙත නිසි පරිදි අවබෝධ කරගැනීම ය.

විශිෂ්ටත්වය බිහිවන්නේ උප්පත්තියෙන් නොව ක්‍රියාවන් තුළින් බව පැතුම් නිශ්ශංක තේරුම්ගතහොත් ඔහුටද අරවින්ද ද සිල්වා කෙනෙක් වනු හැකි ය.

විශේෂ ස්තුතිය – කසුන් ඉරුගල්බණ්ඩාරට සහ සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7