Cricket NewsEXCLUSIVEUnder-19

පවන් පතිරාජගේ සුපිරි ශතකයත්, වනුජ සහන්ගේ සුපිරි පන්දු යැවීමත් ඉදිරියේ එංගලන්ත යොවුන් ක්‍රීඩකයන් දණනමයි – ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට විශිෂ්ට ජයක්.!

සංචාරක එංගලන්ත යොවුන් පිල සමඟ පැවැත්වෙන තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවැනි තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත්විණි . තරඟාවලිය තරඟ 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටි එංගලන්තයට එරෙහිව පෙර තරඟයේදී ලැබූ අමිහිරි පරාජයේ අඳුරු සෙවණැලි තුලින් ශ්‍රී ලංකා යොවුන් පිල මනා පන්නරයක් ලබාගනිමින් මෙම තරඟයට පිවිසුනේය .

තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය . ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනාම මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 18 ක් වද්දී ක්‍රීඩාගාරයට හරවා යවන්නට Boyden සමත් විය.

තෙවැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ ශෙවෝන් ඩැනියෙල් හා පවන් පතිරාජ ලකුණු 64 ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිමට අත්තිවාරමක් දමන්නට සමත් විය. ලකුණු 18 කට ඩැනියෙල් දැවී යාමෙන් අනතුරුව තරඟය සිය ග්‍රහණයට ගත් පවන් පතිරාජ නිමා වූ බංග්ලාදේශ තරඟාවලියේදීද සිදු කල ආයුරින්ම මෙම තරඟයේදීද ඉනිමේ නැංගුරම බවට පත් විය.

සිව්වන කඩුල්ල සඳහා ලකුණු 105 ක සබඳතාවයක් ගොඩනගන්නට පවන් පතිරාජ සමඟින් එක්වූ රනුද සෝමරත්නට හැකි විය.

ඉනිමේ නැංගුරම බවට පත්වූ යොවුන් ක්‍රීඩක පවන් පතිරාජ වඩාත් පරිණත ස්වරූපයක් ගත් ඉනිමක් දියත් කරමින් මෙම තරඟාවලියේ පළමු ශතකය ලබාගත්තේය . එහිදී පන්දු 131 කදී ලකුණු 113 ක් රැස් කරන්නට පතිරාජ සමත් වූ අතර එයට අලංකාර 4 පහරවල් 13 ක් අන්තර්ගත විය.

මෙම තරඟාවලියේ වටිනාම සොයා ගැනීම වූ රනුද සෝමරත්නගේ පිත්තෙන් මෙවර තරඟාවලියේදී පිට පිට වාර්ථා කරන ලද දෙවන අර්ධ ශතකයද අද වාර්ථා විය . හතරේ පහර දෙකක් හා එක් හයේ පහරක්ද සමඟින් ලකුණු 58 ක් නොදැවී රැස් කරන්නට ඔහු සමත් විය. ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ශතක ලාභී පවන් පතිරාජ 44 වන පන්දුවාරයේ දැවී යාමෙන් අනතුරුව පිටියට එක් වූ නායක දුනිත් වෙල්ලාලගේ පන්දු 22 කදී වේගවත් ලකුණු 38 ක් රැස් කරමින් ඉනිමේ අවසන් භාගයේදීද එංගලන්ත යොවුන් පිලේ බලාපොරොත්තු බිඳ දමන්නට සමත් විය.

පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 60 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගන්නට නායක වෙල්ලාලගේ සමගින් රනුද සෝමරත්න සමත් වීමත් සමඟ නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් පමණක දැවී ලකුණු 251 ක් රැස් කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේදී Boyden හා Ahmed අතර කඩුලු දෙක බැගින් බෙදී ගියේය .

ලකුණු 252 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි එංගලන්ත යොවුන් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගන්නට එකදු ක්‍රීඩකයෙකුට හෝ අවකාශයක් ලබානොදෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හැකි විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කඩුලු රකින ක්‍රීඩක James Rew ලකුණු 50 ක් රැස් කරන්නට සමත් වූ අතර එයට හතරේ පහර 8 ක් අන්තර්ගත විය . සෙසු එකදු ක්‍රීඩකයෙකුට හෝ ලකුණු 10 සීමාව පසු කරයන්නට අවකාශය වනුජ සහන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉඩ ලබා නොදුන්නේය.

තරඟයට සාර්ථක ආරම්භයක් ලබාගන්නට යසිරු රොද්‍රිගො සමත් වූ අතර ඔහු ගොඩ නැගූ පීඩනය මැනැවින් ප්‍රයෝජයනයට ගත් වනුජ සහන් සිය පන්දුවාර 10 තුලදී නිලකුණු පන්දුවාර හතරක්ද සහිතව ලකුණු 21 ට කඩුලු 5 ක් බිඳදමන්නට සමත් විය.

ඔහුට අමතරව යසිරු රොද්‍රිගෝ හා මතීශ පතිරණ අතර කඩුලු 2ක බැගින් බෙදී ගියේය .එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 31 කුත් පන්දු 4 ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගන්නට හැකි වූයේ ලකුණු 103 ක් පමණි.

දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරඟය ලකුණු 148 කින් ජයගන්නට සත්කාරක යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමඟ තරගාවලිය තරඟ 1-1 ලෙස සම තත්වයේ පසුවනවා . දෙරට අතර තෙවැනි එක්දින තරඟය මේ මස 5 වැනිදා ( අනිද්දා ) කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7