Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතය පිතිකරුවන්ගෙන් පුරවයි – පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලබා දීමට සැරසේ.

ජාතික සුපර් ලීග් තරගාවලියේදී ගෙවී ගිය සති අන්තයේ ශතක ලබාගත් පිතිකරුවෝ සිව් දෙනෙක්ම ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිති. පසුගිය සති අන්තයේදී පැවැති ජාතික සුපර් ලීග් තරගාවලියේ තරග දෙකකදී කමිඳු මෙන්ඩිස් (115), ඇන්ජලෝ මැතිව්ස් (146), දිමුත් කරුණාරත්න (161) සහ ධනංජය ද සිල්වා (113) ශතක ලබාගත්හ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලබන සිකුරාදා (02 වැනිදා) ආරම්භ වන එකම ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට නවක ක්‍රීඩකයෝ තිදෙනෙක් ද ඇතුළත්ව සිටිති. තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ. එසේ වුවත් තේරීම් කමිටු නිලධාරීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ පිතිකරුවන් කෙරෙහිය.

පසුගිය සති අන්තයේදී ශතක ලබා නොගත් නමුත් කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක මෙන් ළහිරු උදාරත් කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවෝ වෙති. ශ්‍රී ලංකා පිලට ඇති එකම කණස්සල්ල වන්නේ තරග කිහිපයකදීම සධීර සමරවික්‍රම අසාර්ථක වීමයි. පිතිකරුවකු වශයෙන් ලකුණු ලබා නොගත් නමුත් සධීර විසින් රැකගනු ලබන ඇතැම් උඩපන්දු නිරීක්‍ෂණයෙන් වටහාගත හැක්කේ ඔහු දිගු ඉනිමක් අබියස සිටින බවකි.

හිටපු නායක දිමුත් කරුණාරත්න කණ්ඩායමේ සිටියදීම, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු අවස්ථාව මෙයයි. මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයයි.

ශ්‍රී ලංකාවේ අවසන් ටෙස්ට් තරග දෙකම දඟ පන්දු යවන්නන්ගේ රජ දහනක් වන ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති නමුත් එම තරග දෙකේදීම පාකිස්තානුවන් හමුවේ ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. ඇෆ්ඝනිස්ථානය සතුව ප්‍රබල පන්දු යවන්නන් රැසක්ම සිටින බැවින් එස්.එස්.සී. පිටියේ තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තත්ත්වයකින් සූදානම් කෙරෙන බවත් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගයක් නොවේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 9 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකා සංචිතය
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button