Cricket NewsEXCLUSIVE

ශ්‍රි ලාංකික තරග තීරකවරයෙක් වන ‘රංජන් මඩුගල්ලේ’ගෙන් තවත් ලෝක වාර්තාවක්

ICC congratulates Ranjan Madugalle for completing triple-century of ODIs

ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ මහතා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී තම තරග තීරක දිවියේ තවත් සුවිශේෂී කඩ ඉමක් පසු කිරීමට නියමිතයි. තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් මඩුගල්ලේ මහතාව පත් කිරීමත් සමඟ ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා ලෙස කටයුතු කරන ලද පළමු පුද්ගලයා වීමේ අවස්ථාව මඩුගල්ලේ මහතාට උදාවිය.

ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන මඩුගල්ලේ මහතා මෙම සුවිශේෂී කඩ ඉම ඉක්මවා ලීමට පෙර පළමු වරට ලොව ටෙස්ට් තරග 100 ක් සහ ටෙස්ට් තරග 150 ක සීමාව පසු කරන ලද පළමු තරග තීරකයා ලෙසින්ද වාර්තා පොත් අතරට එක්ව සිටියි. එම සුවිශේෂී කඩ ඉම් පසු කරන ලද අවස්ථා ද්විත්වයම මවුබිමෙන් පිටදී සටහන් වුවත්, 200 වැනි තරගය සිය මව්බිමේදී සටහන් කර ගැනීමට මඩුගල්ලේ මහතාට අවස්ථාව උදාවීමද දෛවෝපගත සිදුවීමක් ලෙස හැඳින්විය හැක.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන තීරකවරයා ලෙසින් කටයුතු කරන මඩුගල්ලේ මහතා 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ආරම්භ කර තිබේ. එදා ඇරැඹි තරග තීරක දිවියේ ඔහුගේ අවසන් තරගය හෙවත් 199 වැනි තරගය වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගිවුණු ටෙස්ට් තරගාවලිය වූ බංග්ලාදේශයට එරෙහිව මේ වසරේ අප්‍රේල් මස පැවැති තරගාවලියේදී වේ.

හැට දෙහැවිරිදි වියේ පසුවන මඩුගල්ලේ මහතා ඔස්ට්‍රේලියාව ශූරතාව දිනා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසන් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේද තරග තීරකවරයා වශයෙන් කටයුතු කළේය. එම තරගාවලියද ඇතුළුව මෙතෙක් ලෝක කුසලාන තරගාවලි 8 කදී තරගතීරකවරයකු ලෙස සේවය ලබා දී තිබෙන ඒ මහතා 1999, 2003 සහ 2019 යන වසර වල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරග වලද තරග තීරකවරයා වශයෙන් කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button