Cricket NewsEXCLUSIVEMatch Review

ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක් නොතබා ඔස්ට්‍රේලියාව සිව් වන තරඟයත් පහසුවෙන් ජය ගනී.!

කිසිදු අපහසුතාවකින් තොරවම සිව්වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයත් ජයගත් ඕස්ට්‍රේලියානුවෝ 4-0 ක් ලෙසින් දැවැන්ත තරඟාවලි ජයග්‍රහණයකට මුල පිරීමට අද සමත් වුනා.

ඒ මෙල්බර්න් නුවරදී අද (18 ) පැවැති තරගයේදී ලකුණු 140 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ පන්දු 11 ක් ඉතිරිව තිබියදී තරගය ජයගත්තේ 5-0 ක තරගාවලි ජයක බලාපොරොත්තු රඳවා ගනිමිනි.

වසර 2006 දී පළමු වැනි විස්සයි-20 අන්තර්ජාතික තරගයට සහභාගි වීමෙන් පසුව, පළමු වතාවට තරග 5 කින් සමන්විත ද්විපාර්ශ්වික තරගාවලියකට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ඕස්ට්‍රේලියානු සංචාරයේදී තමන්ගේ ගෞරවය රැකගැනීම සඳහා ඉතිරිව ඇත්තේ තවත් එකම තරගයක් පමණි.

විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් ආරම්භ වූදා පටන් වසර ගණනාවක් එහි අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඕස්ට්‍රේලියාවට ගියේ ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇද වැටීමෙන් පසුවය.

පසුගිය 7 වැනිදා 8 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම, දවස් 10 ක් අතුළත 10 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස සිටී.

අවසන් ඕවරයේදී ලකුණු 17 ක් උදුරාගත් චාමික කරුණාරත්න සහ ජෙෆ්රි වැන්ඩසේ දෙදෙනා ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 139 ක් දක්වා ඉහළ දැමූහ. පන්දු යවන්නන්ට කිසියම් බලාපොරොත්තුවක් තබාගත හැකිව තිබූ නමුත්, ලකුණු 140 ක් ඉලක්කයක් යනු කිසි සේත්ම අසීරු ඉලක්කයක් නොවේ.

එය මැනවින් පසක් කළ ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ බළලා මීයන් සමග සෙල්ලම් කරන්නාක් මෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඕවර 18 ක් තිස්සේ වෙහෙසට පත්කරමින් තරගය ජයග්‍රහණය කළහ.

ඕස්ට්‍රේලියානුවන් විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙතරම් අවතක්සේරුවට ලක්කරන ලද්දේද යත් පිට පිට තරග දෙකකදීම ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කිරීමට යොදාගත්තේ පසුපෙළ පිතිකරුවකු වන ඇෂ්ටන් ආගර්ය.

ලකුණු 13 ක් ඇතුළතදී බෙන් මැක්ඩොමට් සහ නායක ඒරන් ෆින්ච් දවාගැනීම හැරෙන්නට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ඉතිරි වී නොතිබිණ.

තරගය නිමා කිරීමත් සිය අර්ධ ශතකයත් සම්පූර්ණ කිරීම සඳහා ග්ලෙන් මැක්ස්වෙල් හයේ පහරකට උත්සාහ කළ නමත් එය හතරේ පහරක් වූයෙන් මැක්ස්වෙල්ගේ පන්දු 39 ඉනිම ලකුණු 48 කින් නතර විය.

16 වැනි ඕවරයේදී කඩුලු 2 කට ලකුණු 110 ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිම ඕවර 3 ක් ඇතුළතදී කඩුලු 8 කට 122 ක් ලෙසින් කඩා වැටුණේය. එහෙත් අවසන් ඕවරය යැවූ කේන් රිචඩ්සන් හමුවේ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් ගැසූ කරුණාරත්න සහ වැන්ඩසේ දෙදෙනා ඉතිරි පන්දු 3 න් තවත් ලකුණු 3 ක් ලබාගත්හ.

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිමේ ගෙල සිරකරන ලද්දේ ඇෂ්ටන් ආගර් විසිනි.

ඕවර 4 ක් නිමාවේදී කිසිවකු නොදැවී ලකුණු 35 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සිය පළමු ඕවරයේදීම පිටියෙන් ඉවත් කළ ආගර්, එම ඕවරය එක ලකුණකට සීමා කරගත්තේය.

එතැන් සිට එක දිගට සිය ඕවර 4 අවසන් කළ ආගර් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 14 ක් පමණි.
ආගර් හමුවේ එකම හයේ පහරක් හෝ හතරේ පහරක් ගැසීමට ශ්‍රී ලංකා පිතිකරුවන් අසමත් වූ අතර ඔහුගේ පන්දු 24 න් 10 ක්ම නිලකුණු පන්දු විය.

ඉතිරි ඒවායින් තනි ලකුණු 14 ක් ලබා ගැනිණ.

මෙම තරගාවලියේදී දැඩි ලෙස අසාර්ථක වූ ධනුෂ්ක ගුණතිලක පළමු තරග තුනේදීම පන්දු 11 කට මුහුණ දෙමින් ලබාගත්තේ ලකුණු 10 කි.

අද තරගයේදී වුවද පන්දු 16 කින් ලකුණු 17 ක් ලබාගත් ගුණතිලක ඊළඟ පන්දුවේදී ඒරන් ෆින්ච්ට උඩපන්දුවක් දෙමින් දැවී ගියේ තරග 4 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 27 කට සීමා කරමිනි.

හයේ හතරේ පහර මඳ වූවත් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ධෛර්වයත් පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක (46), කුසල් මෙන්ඩිස් (27) සහ චරිත් අසලංක (22) තිදෙනා ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලුකරගෙන ගියහ.

එහෙත් අසලංකගේ දැවී යාමෙත් සමගින් ශ්‍රී ලංකා ඉනිම එකතැන කඩා වැටිණ.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා කිසිම පැකිළීමකින් තොරව පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබඳ ඔහුට නිවැරදි තක්සේරුවක් තිබූ බැවින් විය හැකිය.

ඕස්ට්‍රේලියානුවන් තරගාවලිය ජයගෙන සිටි බැවින් පළමු තරග තුනේදී සාර්ථක දස්කම් පෙන්වූ ජොස් හේසල්වුඩ් සහ මිචෙල් ස්ටාක් විවේක ගන්වා ජායි රිචඩ්සන් සහ ඇඩම් සම්පා කණ්ඩායමට කැඳවනු ලැබිණ.

නුවන් තුෂාර කොරෝනා ආසාදිතයකු වීම හේතුවෙන් ළහිරු කුමාරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථව හිමි වුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7