Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League සිව්දින තරගාවලියේ මංගල ශතකය සමින්ද ප්‍රනාන්දුගේ පිත්තෙන්.!

එක්දින තරගාවලිය අවසන් වී දින 5 ක් ඉක්මවාලීමට මත්තෙන් ආරම්භ වුණු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරග වලදී පිතිකරුවන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය.

ඒ අතරින් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු මංගල ශතකයට හිමිකම් කියද්දී මහනුවර කණ්ඩායමේ ළහිරු උදාරත් ලසිත් කෲස්පුල්ලේත් ශතක පෙනී පෙනී දැවී ගියහ.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජැෆ්නා කණ්ඩායමේ සමින්ද ප්‍රනාන්දු පන්දු 241 කට මුහුණ දෙමින් ලකුණු 141 ක් ලබා ගත්තේය.

අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සමින්ද සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් වර්ණවත් කර ගත්තේය.

එම ඉනිම ප්‍රධාන කොට පළමු දිනට තරගය අවසන් වද්දී යාපනය ලකුණු පුවරුව කඩුලු 4 කට ලකුණු 311 ක් ලෙසින් සටහන්ව පැවැතිණ.

කලම්බු පිලට එරෙහිව පැවැති තරගයේදී නිශාන් මදුශංක පළමු කඩුල්ල ලෙසින් ලකුණු 20 කදී දැවී ගියද දෙවැනි කඩුල්ලට නවෝද් පරණවිතාන සමඟ එක්වූ සමින්ද ප්‍රනාන්දු ලකුණු 157 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

එහිදී පරණවිතානගේ දායකත්වය පන්දු 171 කදී ලකුණු 77 කිනි. පරණවිතානගේ දැවී යෑමෙන් පසු නායක සදීර සමරවික්‍රමට එක්වූ සමින්ද තවත් ලකුණු 115 ක සම්බන්ධතාවක් පවත්වමින් යාපනය ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ.

ඉතාමත් වටිනා ඉනිමක් ක්‍රීඩා කළ නායක සදීර දිනය අවසන් වීමට පන්දුවාරක් ඉතිරිව තිබියදී ළහිරු මදුශකගේ පන්දුවක් හමුවේ ලකුණු 58 කට දැවී ගියේය. පන්දු යැවීමේදී ළහිරු මදුශංක සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගෙන සිටිති.

හම්බන්තොට තරගය පරිද්දෙන්ම ගාල්ල තරගයද පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු කරගත් කැන්ඩි පිතිකරුවෝ දිනය අවසන් වන විට කඩුලු 4 ට ලකුණු 373 ක් ලබා ගැනීමට සමත්වූහ.

මෙහිදී සාර්ථක ආරම්භයක් ලබා දුන් ළහිරු උදාර සහ ලසිත් කෲස්පුල්ලේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 169 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. ඉතා හොඳින් පන්දුවට පහර දුන්නද මොවුන් දෙදෙනාම ශතක පෙනී පෙනී දැවී ගියහ.

පන්දු 126 කට මුහුණ දුන් ළහිරු උදාර හතරේ පහර 16 ක් සමඟ ලකුණු 92 ක් රැස් කරද්දී ලසිත් කෲස්පුල්ලේ පන්දු 107 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 93 ක් ලබා ගත්තේය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින නායක කමිඳු මෙන්ඩිස් හතරේ පහර 11 ක් ද සමඟින් පන්දු 138 කදී ලකුණු 90 ක් ලබා තරගයේ දෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරගෙන සිටියි. දිනයේ අනෙක් එකම අර්ධ ශතක ලාභියා වූයේ කසුන් විධුර වන අතර ඔහු ලකුණු 58 ක් ලබා ගත්තේය.

කැන්ඩි පිල මට්ටු කිරීම සඳහා ගෝල් නායක ධනංජය ලක්ෂාන් පන්දු යවන්නන්ගේ 8 දෙනෙකුගේ සේවය ලබා ගත්තද ඒ අතරින් යම් තරමකට හෝ සාර්ථක වූයේ චානක රුවන්සිරි පමණි.

ඔහු ලකුණු 75 කට කඩුලු 2 ක් දවා ගනිද්දී නිමේෂ් විමුක්ති සහ සංගීත් කුරේ කඩුල්ල බැගින් දවාගත්හ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7