මුම්බායි මුඩුක්කුවෙන් ජාතික කණ්ඩායමට ගිය සර්ෆරාස්ගෙ කතාව.
සංචාරක එංගලන්ත පිලට එරෙහිව මේ දිනවල රාජ්කොට් නුවර පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් දිනා සිය මංගල ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක් වාර්තා කළ ඉන්දීය මැදපෙළ පිතිකරු 26 හැවිරිදි සර්ෆරාස් ඛාන් මුම්බායි නුවර දිළිඳු ජනතාව පදිංචිව සිටින අසාම් මේඩ්න් ප්‍රදේශයෙන් ජාතික පිලට එක් වූ පළමු ක්‍රීඩකයා බවට පත් විය.
ඔහු ටෙස්ට් වරම ලබා ජාතික හිස්වැස්ම අනිල් කුම්බ්ලේ අතින් ලබා ගනිද්දී ඔහුගේ ක්‍රිකට් ජීවිතය වෙනුවෙන් දැඩි කැපවීමක් කළ ඔහුගේ පියා නෞෂාඩ් ඛාන් ඉතා සංවේදිව හඬා වැටුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. සිය පුත්‍රයා ක්‍රීඩා කරමින් සිටි මොහොතේදී විස්තර විචාරක කුටියට ද ඇරියුම් ලැබූ නෞෂාඩ් ඛාන් එහිදී ඉතා සංවේදී අයුරින් කළ ප්‍රකාශය මේ වන විට සමාජ මාධ්‍ය ජාලයේ වැඩි අවධානයට ලක් වී තිබේ.
“අපි මුඩුක්කු ජීවිතයකට උරුමකම් කියන අය. කිසිම වත්කමක් නැති අය. වැසිකිලි යන්නත් පෝලිමේ ඉන්න අය. මගේ පුතාට පහර දීලා පෝලිමෙන් පන්නලා දැමූ අවස්ථා පවා තිබුණා. පුතා මට දවසක් කිව්වා තාත්තේ මට නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන්න බැරි වුණොත් එච්චර කනගාටු වෙන්න එපා. අපි ඒක අමතක කරලා දාමු. මට පුළුවනි තාත්තා එක්ක පේමන්ට් එකේ ඇඳුම් විකුණන්න.” නෞෂාඩ් ඛාන් විස්තර විචාරක කුටියේදී එසේ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මෑත කාලයේ එරට දේශීය ක්‍රිකට් පිටියේ නොම්මර එකේ පිතිකරුවා වන සර්ෆරාස් ඛාන් රංජි කුසලාන තරගාවලියේ 2021-22 තරග වාරයේ වැඩිම ලකුණුලාභියා වූ අතර, 2022-23 තරගවාරයේ මෙතෙක් තරග 6කදී ලකුණු 556ක් රැස් කිරීමට සමත් විය. සිය මංගල ටෙස්ට් ඉනිමේදී ඔහු ලකුණු 62ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමට හසුවීමෙන් පසු ක්‍රීඩාගාරයට පියමැන්නේ හැඬූ කඳුළින් යුතුවය. ඔහු දැවී ගියේ ඒ මොහොතේ අනිත් අන්තයෙන් ක්‍රීඩා කරමින් සිටි රවීන්ද්‍ර ජඩේජා නොතිබූ ලකුණකට කැඳවීම හේතුවෙනි. තමා අතින් සිදුවූ වරදට පසුව ඔහු සර්ෆරාස්ගෙන් සමාව අයැද සිටි බව ද වාර්තා වේ.