Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබුණ, අමෙරිකාවට ජය ගෙනා ඉන්දීය ඉංජිනේරුවා

පාකිස්තානය පරාජයට පත්කිරීමත් සමඟ අමෙරිකා ක්‍රිකට් පිල කෙරෙහි විශාල අවධානයක් ක්‍රිකට් ලෝකයේ යොමුව පවතියි. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිට පිට තරග දෙකක් ජයගෙන සිටින අමෙරිකාව ඉදිරියේදී මුහුණදෙන ඉන්දියාව හෝ අයර්ලන්තය යන කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් පරාජය කිරීමට සමත්වුවහොත් සුපිරි 8 වටයට සුදුසුකම් ලබනු ඇත.

පාකිස්තානය පරාජය කරමින් අමෙරිකාව ලැබූ පෙරැළිකාර ජය ලකුණු සමවීම හේතුවෙන් ක්‍රියාත්මකවූ සුපිරි ඕවරයෙන් තීරණය විය. අමෙරිකාව වෙනුවෙන් එම සුපිරි ඕවරය ක්‍රියාත්මක කළේ සෞරාබ් නේට්‍රවල්කාර් ය. සුපිරි ඕවරයේදී පාකිස්තානය හමුවේ තිබූ ලකුණු 19ක ඉලක්කය ලකුණු 13කට සීමා කළ මේ වේග පන්දු යවන්නා අමෙරිකාවේ සුප්‍රසිද්ධ ඔරකල් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස සේවය කිරීම විශේෂත්වයකි.

1991 දී ඉන්දියාවේ මුම්බායිහි උපත ලද නේට්‍රවල්කාර් 2010 යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේය. ඉන්දියාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කරද්දී එම කණ්ඩායමේ ලෝකේෂ් රාහුල්, මායන්ක් අගර්වාල්, ජයදේව් උනද්කට් වැනි ක්‍රීඩකයෝ ද සිටියහ.

නේට්‍රවල්කාර්ට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබුණ හෙයින් මුම්බායි විශ්වවිද්‍යාලයෙන් පරිගණක ඉංජිනේරු උපාධියක් ලබා ශාස්ත්‍රපති උපාධිය කිරීමට අමෙරිකාව බලා ගොස් ඇත. එහිදී ඔහු කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් සිය ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ අතර, පසුව අමෙරිකානු බහුජාතික පරිගණක තාක්ෂණ සමාගමක් වන ඔරකල්හි රැකියාව ලැබිණි.

2018දී නේට්‍රවල්කාර්ට අමෙරිකා ක්‍රිකට් කණ්ඩායමේ අවස්ථාවක් ලැබිණි. එතැන් සිට අමෙරිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි20 තරග 29කට ක්‍රීඩා කර කඩුලු 29ක් දවාගෙන ඇත. ඔහු රැකියාවෙන් නිවාඩු ලබා ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා පැමිණියේය. ඔරකල් සමාගම ඔහුට ජුනි 17 දක්වා නිවාඩු ලබා දී ඇත. සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගතහොත් නේට්‍රවල්කාර්ගේ නිවාඩුව දික්කර ගත යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button