Cricket NewsEXCLUSIVEInternational

ජයග්‍රහණයට ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩුලු 5යි – බංග්ලාදේශයට අවශ්‍ය ලකුණු 464යි

කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරමින් පිට පිට රැස් කළ ශතක දෙක හේතුවෙන් සිල්හෙට්හිදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සත්කාරක බංග්ලාදේශයට ලකුණු 511ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ දැවැන්ත ඉලක්කය හඹා ගිය බංග්ලාදේශය ඊයේ තරගය තෙවැනි දිනයට නතර කරනවිට ලකුණු 47කට කඩුලු 5ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.

ඒ අනුව කඩුලු 5ක් අතැතිව සිටින බංග්ලාදේශය ජයග්‍රාහී ඉලක්කය ලකුණු 464ක් පසුපසින් සිටී. ජය පසෙක තබා තරගය බේරා ගැනීමට නම් ඔවුන්ට කඩුලු 5 ආරක්ෂා කර ගැනීමට තවත් දින දෙකක් ද ඉතිරිව තිබීමද අභියෝගයකි.

ආරම්භක පිතිකරු මහමුදුල් හසන් ජෝයි, ෂහාදත් හොසේන් සහ ලිටොන්ද දාස් ඊයේ ලකුණු නොලබා දැවී ගිය අතර නායක නජ්මුල් හොසේන් ලකුණු 6කටත්, සකීර් හසන් ලකුණු 19කටත් දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූහ. පන්දු යැවීමේදී බංග්ලාදේශ පළමු ඉනිමට වැඩිම හානියක් කළ විශ්ව ප්‍රනාන්දු ඊයේ කඩුලු 3ක් දවාගත් අතර කසුන් රාජිත සහ ළහිරු කුමාර කඩුල්ලක් බැගින් දවා ගත්හ. බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල බිඳ වැටෙන විට ලකුණු පුවරුව 37ක් ලෙස සටහන් විය.

මේ අතර ලකුණු 119කට කඩුලු 5ක් දැවී තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් කඩුලු 5 වෙනුවෙන් තවත් ලකුණු 299ක් රැස් කිරීමට සමත් වූහ.

පළමු ඉනිමේදී අගනා ශතක දෙකක් රැස් කළ නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් දෙවැනි ඉනිමේදීත් ශතක රැස් කිරීම කැපී පෙනිණි.

පෙරේදා තරගය නිමා වීමට පෙර ශ්‍රී ලංකා ඉනිමේ සැඳෑ ආරක්ෂකයා ලෙස පිටියට පිවිසි විශ්ව ප්‍රනාන්දු (4) ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර අනතුරුව නායක ධනංජයට එක් වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 137ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 299 දක්වා ඉදිරියට ගෙන ගියේය. ඒ අතරතුර ධනංජය සිය 12 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ඔහු දැවී යන විට පන්දු 179කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 108ක් රැස් කර තිබිණි. කෙසේ වෙතත් ඉන් නොනැවතුණු කමිඳු පළමු ඉනිමේදී සිය මංගල ශතකය ලෙස රැස් කළ ලකුණු 102 අබිබවා යමින් සිය ඉනිම ලකුණු 164ක් දක්වා ඉදිරියට ගෙන ගියේය. 8 වැනි කඩුල්ලට ප්‍රභාත් ජයසූරිය (25) ලකුණු 67ක් සහ අවසන් කඩුල්ලට කසුන් රාජිත (4) ලකුණු 52ක් එක් කරමින් කමිඳුට සහාය විය.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඔහු දැවී යන විට පන්දු 237කට මුහුණ දෙමින් හතරේ පහර 16කින් සහ හයේ පහර 6කින් ඉනිම වර්ණවත් කර ගත්තේය.

මේ ශතක සමඟ ඊයේ ටෙස්ට් පොතේ වාර්තා රැසක් අලුත් කිරීමට ධනංජයට සහ කමිඳුට හැකි වූහ.

දෙවැනි ඉනිමේදී පළමුවෙන්ම ධනංජය ශතකය වාර්තා කළ අතර ටෙස්ට් තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 6 වැනි පිතිකරු ලෙස ඔහු වාර්තා පොතට එක් වූ අතර අනතුරුව කමිඳු 7 වැනි පිතිකරු බවට පත් විය.

මින් පෙර දුලිප් මෙන්ඩිස් (105, 105) 1980දී පාකිස්තානයට එරෙහිව, අසංක ගුරුසිංහ (119, 102) 1991දී නවසීලන්තයට එරෙහිව, අරවින්ද ද සිල්වා (138*, 103*) පාකිස්තානය හා (146, 120) ඉන්දියාවට එරෙහිව 1997දී, තිලකරත්න ඩිල්ෂාන් (162, 143) 2009දී බංග්ලාදේශයට එරෙහිව, කුමාර් සංගක්කාර (142, 105) 2013දී සහ (319, 105*) 2014දී බංග්ලාදේශයට එරෙහිව ඉනිම දෙකේදීම ශතක රැස් කර තිබිණි.

මීට අමතරව ලෝක ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් තරග ඉනිම දෙකේදී එකම පිතිකරුවන් දෙදෙනෙක් ශතක වාර්තා කළ තෙවැනි අවස්ථාව ද ඊයේ සටහන් විය. මින් පෙර 1974 වසරේදී චැපල් සොහොයුරන් (ඉයන් – ග්‍රෙග්) නවසීලන්තයට එරෙහිවත්, අසාර් අලි සහ මිස්බා උල් හක් 2014දී ඔස්ට්‍රේලියාවට එරෙහිවත් ඉනිම දෙකේදීම ශතක රැස් කර තිබිණි.

ඊයේ ටෙස්ට් පිටියේ විරලතම වාර්තාවකට හිමිකම් කීමට ද කමිඳුට හැකි විය. පළමු ඉනිමේදී අංක 7 පිතිකරු ලෙසත්, දෙවැනි ඉනිමේදී අංක 8 පිතිකරු ලෙසත් ඔහු පිටියට පිවිසි අතර ඒ අනුව ටෙස්ට් තරගයක අංක 7 හෝ ඊට පහළින් පිතිකරණයේ යෙදෙමින් ඉනිම දෙකේදීම ශතක රැස් කළ ලොව පළමු පිතිකරු ලෙසට ඔහු වාර්තා පොතට එක්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button