Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා-ඇෆ්ගන් පළමු එක්දින තරඟය අද – පළමු තරඟයේ ජය කාටද ?

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා – රාත්‍රී තරගයක් වන මෙය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

දෙපිල එක්දින තරගවලදී 12 වතාවක් මුණගැසී ඇති අතර, ශ්‍රී ලංකාව තරග 7ක් හා ඇෆ්ගනිස්තානය තරග 4ක් ජයගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත්වූ අතර, එහිදී ඇෆ්ගනිස්තාන පිල සුවිශේෂී දක්ෂතා දක්වමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමතක නොවනු ඇත.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති තරගවලදී ජයග්‍රහණ තුනක් සහ පරාජයන් දෙකක් ලබා ඇත. කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියේදී දෙරට අතර ඉන්දියාවේ පූනේහි අවසන් හමුවීමේදී ඇෆ්ගනිස්තානය කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කැළඹීමට ලක් වූහ.

ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මේ එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම අවසන් වරට පැවති සිම්බාබ්වේ එක්දින තරගාවලියේ සිටි නුවනිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයන් දෙදෙනාට ද මෙවර අවස්ථාව හිමි නොවේ.

පසුගියදා ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වූ සිම්බාබ්වේ එක්දින තරගාවලිය ඇතුළු දසුන් ශානක ක්‍රීඩා කළ අවසන් එක්දින තරග 20දී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 184ක් ලබා ගැනීම මෙවර එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත.

පිට කොන්දේ සැත්කමකින් පසු ප්‍රබල ක්‍රීඩක රෂීඩ් ඛාන් තවමත් පිටියට නොපැමිණීම ඇෆ්ගනිස්තාන පිලට බලවත් පාඩුවකි. වසර දෙකකට පෙර ඇෆ්ගනිස්තාන පිල වෙනුවෙන් එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කොට ඇති 23 හැවිරිදි පා දඟ පන්දු යවන ක්වයිස් අහමඩ් යළි කණ්ඩායමට එක්ව සිටින අතර, පළපුරුදු වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක ගුල්බඩින් නයිබ් මාස හතරකට පසු නැවත එක්දින පිටියට පිවිස ඇත. 18 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක නවීඩ් සද්‍රාන් මුල්වරට එක්දින සංචිතයට කැඳවා ඇති අතර, ඔහු කොළඹදී නිමා වූ සිය මංගල ටෙස්ට් තරගයේදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවේය.

ඇෆ්ගනිස්තානය අවසන් වරට ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී තරග 3කදී ශතක 2ක් සමඟ ලකුණු 278ක් ලබාගත් ඉබ්‍රහිම් සද්‍රාන් හා ලකුණු 132ක් ලැබූ රහ්මට් ෂා මෙවර කණ්ඩායමේ සිටින බලාපොරොත්තු සහගත පිතිකරුවෝ දෙදෙනෙකි.

අවසන් එක්දින තරගාවලියේදී සිම්බාබ්වේට එරෙහිව කුසල් මෙන්ඩිස්, ජනිත් ලියනගේ හා චරිත් අසලංක ලකුණු අතරට පැමිණීමෙන් විශ්වාසය වැඩි වී ඇති අතර, ආබාධයෙන් පසු ක්‍රීඩා කළ අවසන් එක්දින තරගයේදී ලකුණු 19කට කඩුලු 7ක් බිඳ හෙළූ වනිඳු හසරංග ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම තුරුම්පුව බවට පත්ව සිටි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය : කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන්, සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න, ෂෙවෝන් ඩැනියෙල්.

ඇෆ්ගනිස්තාන එක්දින සංචිතය: හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමට් ෂා, රහ්මානුල්ලා ගුර්බාස්, ඉක්රාම් අලිකිහිල්, ඉබ්‍රාහිම් සද්‍රාන්, රියාස් හසන්, අස්මතුල්ලා ඔමරාසී, මොහොමඩ් නබි, ගුල්බඩින් නයිබ්, ක්වයිස් අහමඩ්, නූර් අහමඩ්, මුජීබ් උ- රහ්මාන්, ෆසල්ලාහක් ෆාරුකී, නවීඩ් සද්‍රාන්, ෆරීඩ් අහමඩ්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button