Cricket NewsEXCLUSIVE

“මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුනනම් ශ්‍රී ලංකාවට තරගය පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබූනා” – ශ්‍රී ලංකා ක්‍රිකට් සහාය පුහුණුකරු නවීඩ් නවාස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියා තරඟ සංචාරය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු විස්සයි-20 තරඟයෙන් තියුණු තරඟයක් අවසානයේ ලකුණු 2කක තියුණු ජයක් වාර්තා කරමින් තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් වුනා.

කෙසේ නමුත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුනේ නම් ශ්‍රී ලංකාවට තරගය පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටියි.

අවසන් පන්දුවාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගැනීමට තිබූ නමුත් කඩුල්ලේ රැදී සිටි චාමික කරුණාරත්න ඇතුළු සෙසු පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුර පළමු කඩුලු 5 ම ලකුණු 65 ක් ඇතුළත බිඳ වැටීම නිසා මැද පෙළ පිතිකරුවන්ට තරගයේ වැඩි බරක් පැටවිණි. මෙහිදී 6 වැනි කඩුල්ලට එක් වුණු දසුන් ශානක සහ වනිදු හසරංග පන්දු 23 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් පවත්වමින් අවසන් පන්දුව දක්වා තියුණු මුහුණුවරක් ගනු ලැබූ තරගයට ප්‍රධාන අඩිතාලම එක් කළහ.

කෙසේ වෙතත් පන්දු 27 කදී ලකුණු 45 ක් ලබා ගත් දසුන් ශානකත්, පන්දු 10 කදී ලකුණු 21 ක් රැස් කළ වනිඳු හසරංගත් ජයග්‍රහණයට ලකුණු 34 ක් තිබියදී දැවී යෑම ශ්‍රී ලංකාවට අතිශය පාඩුවක් ගෙන දෙන්නක් විය. කෙසේ වෙතත් පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වුණ චාමික තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් අවසන් පන්දුවේදී රැස් කරගත යුතු ලකුණු 4 අභියෝගය ජය ගැනීමට ඔහුට නොහැකි විය.

“මං හිතනවා අපි පිතිකරණයෙන් වැරදි කලා කියලා” යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී නවාස් සඳහන් කර සිටියේය. “විශේෂයෙන් කිව්වොත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබෙන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. නමුත් පසු පෙළ පිතිකරුවන්ගෙන් හොඳ කම්බැක් එකක් දීලා හොඳ තරගයකට ගෙනාවා. නමුත් අවාසනාවකට අපිට ඒක ඉවර කර ගන්න බැරි වුණා” යැයි නවාස් සදහන් කර සිටියි.

තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (05) පැවැත්වෙන දෙවැනි තරගය ජය ගැනීම අනිවාර්යය වේ.

“ඊළඟ තරගයෙදී අපි මේ තරගයේ කරපු වැරදි ටික කතා කරගෙන මීට වඩා හොද තරගයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඉන්දියාව වගේ කණ්ඩායමක් සමග අපි සෙල්ලම් කරනකොට අපි දන්නවා ඒගොල්ලෝ කොයි වගේද ක්‍රීඩා කරන්නේ කියලා. අපේ උපරම ක්‍රිකට් එක ඉදිරියට ගෙනල්ලා ක්‍රීඩා කළොත් තමයි අපිට රගයක් ජයග්‍රහණය කරන්න පුලුවන්. ඒ අනුව අපි උපරිමය දෙන්න බලාපොරොත්තු වෙනවා” යැයි දෙවැනි තරගයට පෙර ඇති අභීයෝගය පිළිබඳව නවාස් සදහන් කර සිටියේය.

“මේ තණතීරුව ගත්තහම ජයග්‍රාහී ඉලක්කය ලකුණු 180 ක් වගේ වෙනවා. නමුත් අපේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ නිසා අපිට ඔවුන්ව ලකුණු 162 කට වගේ අඩු ගාණකට නවතාලීමට හැකියාව ලැබුණා. එය ඇත්තටම හොඳ දක්ෂත්වයක්. මම හිතන විදියට ඒක අපිට පහසුවෙන්ම හඹා යෑමට තිබූ ඉලක්කයක්. එහි වගකීම පිතිකරුවන් ගත යුතුයි” යැයිද සහාය පුහුණුකරුට අමතරව පිතිකරණ පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කරන නවාස් සදහන් කර සිටියා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button