Cricket NewsEXCLUSIVEInternational

සිංහයන් අද රාතියේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදිමට සූදානම්!

නව වැනි විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකා පිල අද (3) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට පිවිසෙයි. මේ තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතය.

අද තරගය දෙපිලටම තීරණාත්මක වී ඇත්තේ මෙය ‘ඩී’ කාණ්ඩයේ පළමු තරගය බැවිනි. එමෙන්ම අද තරගය පැවැත්වෙන නිව්යොර්ක් නුවර නසාවු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල තරගය මෙය වීම ද විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකා පිලේ නායක වනිඳු හසරංග සහ දකුණු අප්‍රිකාවට නායකත්වය දෙන ඒඩන් මාක්‍රම් දෙරටට එරෙහිව තරගයක් මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

මේ දෙපිල විස්සයි20 තරගයකදී හමුවන්නේ වසර 3යි මාස 7කට පමණ පසුවය. අවසන් වරට 2021 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේදී දෙපිල හමුවූ අතර එහිදී දකුණු අප්‍රිකාව පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4ක ජයක් හිමි කර ගත්තේය.

දෙපිල අතර මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 තරග 17ක් පවත්වා ඇති අතර, ඉන් තරග 11ක් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබේ. තරග 5ක ජය ශ්‍රී ලංකාව සතු වෙද්දී තරගයක් ලකුණු සමවී ඇති අතර, එම තරගය ද සුපිරි ඕවරයන් ජය ගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල 2018 වසරෙන් පසුව දකුණු අප්‍රිකාව පරාජය කර නොමැති බැවින් අද ඊට කදිම අවස්ථාවක් උදාවී තිබේ. ශ්‍රී ලංකා පිල සතුව විස්සයි20 පිටියේ හොඳම පන්දු යවන්නන් දෙදෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයා සිටීම අමතරව වාසියක් වනු ඇත. තුන් ඉරියව්වෙන් ලොව පෙරමුණේ පසුවන නායක වනිඳු හසරංග පන්දු යවන්නන් අතර දෙවැනි තැන පසුවෙද්දී මහීෂ් තීක්ෂණ සිවුවැනි තැන පසුවෙයි. එමෙන්ම මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර ද වේග පන්දුවෙන් නම් කළ හැකිය. එබැවින් ශ්‍රී ලංකා පිල පන්දු යැවීමේ අංශය කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා සිටී. දකුණු අප්‍රිකාවේ හොඳම විස්සයි20 පන්දු යවන්නා වන ටබ්‍රයිස් ශම්සි සිටින්නේ ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේයි.

කෙසේ වෙතත් ඔවුන් පිතිකරණ අංශ කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති අතර, නායක මාක්‍රම් සමඟ හෙන්රිච් ක්ලාසන්, ක්වින්ටන් ඩි. කොක්, ඩේවිඩ් මිලර් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ඉදිරියෙන්ම පසුවෙති. ශ්‍රී ලංකා පිල සතුව ද ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ඕනෑම අවස්ථාවක ලකුණු අතරට පිවිසිය හැකි කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස් මෙන්ම වේගවත් ලකුණු රැස් කිරීමේ හැකියවක් ඇති හිටපු නායක දසුන් ශානක ද සිටිති.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව මේ තරගාවලියට එක් වන්නේ අවසන් වරට පැවති කොදෙව්වන්ට එරෙහි තරගාවලියෙන් පූර්ණ පරාජිතයන් (3-0) ලෙසිනි. ශ්‍රී ලංකා පිල මේ වසර තුළ විස්සයි20 තරගාවලි ත්‍රිත්වයක් ක්‍රීඩා කරමින් තරග 9කින් 6ක් ජය ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා සංචිතය: වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා, ඩිල්ෂාන් මධුශංක, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, මතීෂ පතිරණ, සදීර සමරවික්‍රම, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ.

දකුණු අප්‍රිකානු සංචිතය: ඒඩ්න් මාක්‍රම් (නායක), ඔටිනෙල් බාර්ට්මාන්, ජෙරල්ඩ් කොඑට්සී, ක්වින්ටන් ඩි කොක්, බ්ජෝර්න් ෆොර්ට්යුඉන්, රීසා හෙන්ද්‍රික්ස්, මාර්කෝ ජැන්සන්, හෙන්රිච් ක්ලාසන්, කේෂව් මහරාජ්, ඩේවිඩ් මිලර්, ඇන්රිච් නොර්ට්ජේ, කගීසෝ රබාඩා, රයන් රිකෙල්ටන්, ටබ්‍රයිස් ශම්සි, ට්‍රිස්ටන් ස්ටබ්ස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button