Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් “හර්බජාන් සිං” ක්‍රිකට් ලෝකයම හෙල්ලෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකට සූදානමින්.!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රාහී ස්වර්ණමය කාල සිමාවේ සිටි සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පසුගියදා සියලුම ආකාරයෙන් තමන් ක්‍රිකට් දිවියට සමු දෙන බව ප්‍රකාශ කර සිටියා.

ඔහුගේ සමුගැනීමත් සමඟින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කරුණක් වූයේ 2008 වසරේ සිදු වූ Monkeygate සිදුවීමයි. මේ පිළිබඳව අදහස් දක්වමින් හර්බජාන් සිං පවසා සිටියේ Monkeygate සිදුවීම සම්බන්ධයෙන් තමන් නුදුරේ දී ම සත්‍ය හෙළිකිරීමට සූදානම් බවයි.

2007/2008 වසරේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය අතරතුර සිදු වූ මෙම Monkeygate සිදුවීම හර්බජාන් සිංගේ විශ්‍රාම යාමත් සමඟින් නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

2008 වසරේ ඉන්දීය ක්‍රිකට් කම්පනය කළ කුප්‍රකට Monkeygate සිදුවීම හෙවත් හර්බජාන්ගේ ක්‍රිකට් දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක පරිච්ඡේදය පිටුපස ඇති සත්‍යය තමන් විසින් හෙළි කරන බවට හර්බජාන් සිං පොරොන්දු වී තිබෙනවා.

හර්බජාන් සිං සහ හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Andrew Symonds අතර ඇති වූ මතභේදයක් අවසානයේ වාචික ගැටුමක් බවට පත්ව තිබුණා. මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම අප්‍රසන්න මුහුණුවරක් ගත් බව බොහෝ දෙනාගේ මතය වී තිබුණා.

සිඩ්නි හි පැවති ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී එවකට ඕස්ට්‍රේලියානු නායක Rickey Ponting, Steve Bucknor සහ Mark Benson යන ක්‍රීඩකයන් විසින් විනිසුරුවන්ට පැමිණිලි කරමින් පවසා සිටියේ හර්බජාන් සිං විසින් Symonds හට ‘වඳුරා’ ලෙස ආමන්ත්‍රණය කරමින් වාචිකව අපහාස කළ බවයි.

ඉන් අනතුරුව කරුණු කාරණා උග්‍ර වූ අතර ඕස්ට්‍රේලියාව ලකුණු 122කින් ඉන්දියාව පරාජය කළද පසුව පැවති නඩු විභාගයක දී අධිකරණ ශාලාව තුළ ද තවත් සටනක් නිර්මාණය වී තිබුණා.

සුප්‍රසිද්ධ Monkeygate සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් ලෙස හඳුන්වමින් හර්බජාන් සිං පවසා සිටියේ එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශාලතම පහත වැටීම බවයි.

හර්බජාන් සිං මීට පෙර කිසි දිනක මෙම සිද්ධිය ගැන විස්තරාත්මකව ප්‍රසිද්ධියේ කතා කර නැතත්, 41 හැවිරිදි ඔහු මෙම සිදුවීමේ සත්‍යය ඉදිරිපත් කරන බව පවසා තිබෙනවා.

“එය අනවශ්‍ය දෙයක්. සිඩ්නි තරගයේ එදා සිදු වූ දේ සිදු නොවිය දෙයක්. මේකට හේතු වූ දේ ද සිදු නොවිය යුතු දෙයක්. එය ඇත්තෙන්ම අනවශ්‍ය ප්‍රශ්නයක්. නමුත් කවුද කිව්වේ කියන එක අමතක කරන්න. ඔබ සහ මම දෙදෙනාම දන්නවා සත්‍යයේ දෙපැත්තක් ඇති බව”, හර්බජාන් සිං ඉන්දීය මාධ්‍ය වෙත පසුගිය දා පවසා සිටියා.

“මේ සිදුවීමේ මුළු කතාවේම මගේ සත්‍ය පැත්ත ගැන කිසිවෙක් සැලකුවේ නැහැ. එම සති කිහිපය තුළ මා අත්විඳින ලද දේ සහ මම මානසිකව බිඳී ගිය ආකාරය කිසිවකු ගණන් ගත්තේ නැහැ. මම කිසි විටෙකත් මගේ කතාව සත්‍ය ලෙස ලබා දී නැහැ. නමුත් මිනිසුන් ඒ ගැන දැන ගනීවි. මගේ ඉදිරියේ දී එන ස්වයං චරිතාපදානයේ මම මේ ගැන කතා කරනවා. මම සිදු වූ දේ කාටවත් සිදු නොවිය යුතුව තිබුණා.” යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

හර්බජාන් සිං ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 103ක්, එක්දින තරග 236ක් මෙන්ම විස්සයි විස්ස තරග 28ක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු එහි දී පිළිවෙළින් කඩුලු 417ක්, 269ක් සහ 25ක් දවාගෙන තිබෙන අතර ටෙස්ට් තරගවල දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩක ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය ද ඔහුට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7