Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් තරුව දුනිත් වෙල්ලාලගේ එක්දින දොරටුව අභියසට – ශ්‍රී ලංකා වර්ණයෙන් සැරසීමට සුදානම්.!

ඕස්ට්‍රේලියානුවන් කඩුලු 6 කින් පරාජය කරමින් පල්ලෙකැළේදී පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ලද ජයග්‍රහණය, “අවශ්‍යම මොහොතේදී ලද නියම බෙහෙත” වූයේ එම තරගයේ 17 වැනි ඕවරයේ සිට 20 වැන්න දක්වා දසුන් ශානක කළ ප්‍රහාරය නිසා පමණක්ම නොවේ. එම ප්‍රහාරය, එක්දින තරගාවලිය අබිමුවේදී කළ ප්‍රහාරයක් වීම ඊට තවත් හේතුවකි.

පහසුවෙන්ම ගොදුරු කරගත හැකියයි සිතාන සිටි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව විෂ දළ ඇත්තවුන් කිහිප දෙනකුද සිටින බව ඕස්ට්‍රේලියානුවන් හරියටම දැනගත්තේ පසුගිය සෙනසුරාදාය.

එබැවින් තුන්වැනි විස්සයි-20 තරගයේදී ලද ජයග්‍රහණය සහ එයින් ලබාගත් ආත්ම විශ්වාසය එක්දින තරගාවලියටත් ගෙන යා හැකිවීම ශ්‍රී ලංකා කණ්ඩායම ලද කදිම උත්තේජකයකි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (14 වැනිදා) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා/රාත්‍රී තරගයක් වන මෙම තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලසුම වන්නේ, විස්සයි-20 තරගාවලියේ සංයුතිය පවත්වාගනිමින්, එනම් පිතිකරුවන් 6 දෙනෙක් සහ දඟ පන්දු යවන්නන් තිදෙනකු සමගින් තරගයට යාමයි.

එහිදී මහේෂ් තීක්‍ෂණ සහ වනිඳු හසරංග දෙදෙනාට අමතරව තවත් දඟ පන්දු යවන්නකුට අවස්ථාව ඇත. තුන්වැන්නාගේ ස්ථානය ප්‍රවීන් ජයවික්‍රම සහ දුනිත් වෙල්ලාලගේ අතර දෝලනය වෙමින් තිබේ.

“අපි සෙල්ලම් කරන්නේ විස්සයි-20 තරගය ක්‍රීඩා කරපු තණතීරුවේම තමයි. දුනිත් වෙල්ලාලගේ කියන්නේ දීප්තිමත් අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්.. එයාට මේ තරගයේදී අවස්ථාවක් තියෙන්න පුළුවන්” යයි ශ්‍රී ලංකා නායකයා කීවේය.

දඟපන්දු යවන්නකු වුවද, තරගයක අවසන් ඕවර කිහිපයේදී, වේගයෙන් ලකුණු රැස්කරන අතරේම තම කඩුල්ලත් ආරක්‍ෂා කරගැනීමට ඇති සුවිශේෂී හැකියාව නිසා හෙට තරගයේදී දුනිත් වෙල්ලාලගේට සිය පළමු එක්දින හිස්වැස්ම පැළඳීමේ වැඩි අවස්ථාවක් තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රශ්නය ඇත්තේ පිතිකරුවන් අතරය. ඉඳ හිට කෙනෙක් දෙදෙනෙක් ලකුණු 60 ක් හෝ 70 ක් ගැසූ පමණින් අන්තර්ජාතික තරග ජයගත නොහැකි බව අමුතුවෙන් කියයුතු නොවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට නැත්තේත් දස්කම් එක දිගට පවත්වාගන යාමේ ස්ථාවරභාවයයි.

දශක දෙකකට ඉහතදී නම් ලකුණු 270 ක් හෝ 280 ක් යනු එක්දින තරගයක ජයග්‍රහණයේ පදනම විය. එහෙත් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශයත් සමගින්, එක්දින තරගායක් ජයගැනීමට ලකුණු 300 ත් මඳිවන අවස්ථා කොතෙකුත් තිබේ. එබැවින් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවට සාර්ථක විය හැකි නම් එය පිතිකරුවන් අත රඳා පවතී.

ලකුණු 300 කට එපිටින් ඉලක්කයක් දිය හැකි නම්, ඕස්ටේ්‍රලියානුවන් පාලනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන් අත ඇති බවට විශ්වාසය තැබිය හැකිය. එවන් මට්ටමේ විවිධත්වයක් ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය සතුව තිබේ.

එක්දින අන්තර්ජාතක ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානය දක්වා ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම වේලාසනින්ම මට්ටු කරගැනීම ඕස්ට්‍රේලියානුවන්ගේ අපේක්‍ෂාවකි.

ඔවුන්ගේ ඊළඟ අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තවමත් තරමක් හොඳින් ක්‍රීඩා කරන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදීත් බලය අල්ලා ගැනීමයි. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානුවන්ගේ අවසන් ශ්‍රී ලංකා සංචාරය වූ 2016 දී වුණු සංගෙදිය ඔවුනට තවමත් හොඳින් මතක තිබේ.

ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ කල්හි, එක්දින ශ්‍රේණිගතකිරීම් අතරේ 8 වැනි ස්ථානයට වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 9 වැනි තැනට වැටී තිබේ. තවත් වැටෙන්නට තැනක් නැති ගානය.

මෙම තරගාවලිය ලෝක කුසලාන සුපිරි ලීගයට ඇතුළත් නොවූවත්, කළ හැකිව ඇත්තේ ශ්‍රේණිගත ලයිස්තුවේදී හෝ ඉහළ යාම පමණි. ඉදින් හැකිනම්, මේ ඊට අවස්ථාවයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක දරන්නේ මෙවන් අදහසකි.

“ශ්‍රේණිගත කිරීම් කියන්නේ අවුරුදු කිහිපයක (තුනක) කාලයක් ඇතුළත කණ්ඩායමක දස්කම් අනුව තමයි තීරණය වෙන්නේ. ඒක පාලනය කරන්න පුළුවන් වෙන්නේ අපි ඉදිරියට ක්‍රීඩා කරන ආකාරය අනුවයි. ඒවා හොඳින් කරන එකයි අපේ වගකීම විය යුත්තේ…අපි බලන්න ඕනේ ඕස්ට්‍රේලියාවට එරෙහිව තියෙන මේ තරගාවලියෙදිත්, ඉදිරියට තියෙන අනිත් තරගාවලි වලදිත් හොඳින් ක්‍රීඩා කරලා කොහොමද ශ්‍රේණිගත ලයිස්තුවේ ඉදිරියට යන්නේ කියලා…ඕස්ට්‍රේලියාව (ශ්‍රේණිගත අංක 3) වගේ කණ්ඩායමක් පරාජය කළාම වැඩිපුර ප්‍රසාද ලකුණු ලැබෙනවා. ඒ හින්දා අපේ ශ්‍රේණිගත ස්ථානය ඉහළ දාගන්න මේ තරගාවලිය ඉතාම වැදගත්”

එමෙන්ම ඕස්ට්‍රේලියානු ටෙස්ට් පිලේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන පැට් කමින්ස් (ලෝකයේ අංක 1 ස්ථානය හිමි ටෙස්ට් පන්දු යවන්නා) එක්දින සංචිතයට කල්තබාම කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් කෙරේ කිසියම් වැටහීමක් ලබාගැනීමේ අරමුණ ඇතිවය.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් සහ ජායි රිචඩ්සන් තිදෙනාම වේග පන්දු යවන්නන් වන බැවින් ඕස්ට්‍රේලියානුවන් නැවත වරක් වේග පන්දුව කෙරේ විශ්වාසය තබා ඇති බව පෙනෙන්නට තිබේ.

අවශ්‍ය අවස්ථාවකදී මාකස් ස්ටොයිනිස්ටත් මඳ වේග පන්දු යැවිය හැකිය. ග්ලෙන් මැක්ස්වෙල් සහ ඇෂ්ටන් ආගර් දෙදෙනාම දඟ පන්දු යවන්නන් ලෙසින් කණ්ඩායමේ සිටිති.

තරඟය හෙට පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button