Cricket NewsEXCLUSIVETrending Article

සචින්ගෙන් කියවූ අතීතයත්, විරාට් කෝලිගෙන් කියවන වර්ථමානයත් පසුකර කියවා යා යුතු Shubman Gill ලියන ඉන්දීය ක්‍රිකට් අනාගතය.!

2018 යොවුන් ලෝක කුසලාන තරඟාවලිය නිමා වූයේ ඉන්දීය යොවුන් කණ්ඩායම සිව්වන වරටත් යොවුන් ලෝක ශූරයින් බවට පත් කරමින්.තරඟාවලිය නිමා වන විට ඉන්දීය ක්‍රිකට් වංශකතාවේ මීලඟ කිරුල භාර ගැනීමේ මුල් නම් අතර ශුබ්මන් ගිල් නම් පංජාබ් ප්‍රදේශයෙන් බිහිවූ යොවුන් ක්‍රීඩකයාගේ නමද වූවා. තරඟාවලිය ආරම්භයේදීම ඉන්දීය කණ්ඩායම් නායක ප්‍රිත්වි ශෝ තරඟාවලියට පෙර සිටම තමන් වෙතට යොමු කරගත් මාධ්‍ය අවධානය දිගින් දිගටම රඳවාගන්නට නිරන්තරයෙන් සමත් වූයේ බොහෝ විචාරකයින්ද ඔහුගේ පිතිකරණ රිද්මය සචින් තෙන්ඩුල්කාර් ගේ පිතිකරණයට සමාන කරන පසුබිමකයි.

ප්‍රිත්වි ට සාපේක්ෂව ගිල් පිලිබඳව ඉන්දීය මාධ්‍ය තුල වූයෙ අඩු කුසුකුසුවක්.නමුත් තරඟාවලිය හමාර වන විට ගිල් සමස්ත ඉන්දීය මාධ්‍ය තුල මෙන්ම ක්‍රිකට් ලෝකයේම අවධානය දිනාගත් කරුණක් බවට තම පිතිකරණය පත්කරගනු ලැබුවේ තරඟාවලියේ වීරයා වෙමින්. එසේ 2018 ලෝක කුසලානය නිමාව දුටුවේ ප්‍රිත්වි-ගිල් සුසංයෝගය අනාගත ඉන්දියාවේ මුල් අඩිතාලම බවට පෙන්නුම් කරමින්.

සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාව තුල ඉන්දීය කණ්ඩායමට අවසන් වසර කිහිපය තුල ආරම්භක පිතිකරුවන් සංයෝජනයෙහි ගැටලු මතු වූවා. මුරලි විජේ,ශිකර් ධවාන්,මයාන්ක් අග්‍රවාල්,ලෝකේෂ් රාහුල් හා රෝහිත් ශර්මා විටින් විට ඔවුන්ගේ අත්හදාබැලීම් වද්දී යොවුන් ක්‍රීඩම ප්‍රිත්වි ශෝ ගේ නමද ඒ අතර තිබුණි. මංගල ටෙස්ට් තරඟයේම ශතකයක් රැස් කරගන්නට ශෝ සමත් වූයේ කොදෙව්වන්ට එරෙහිවයි.නමුත් ශෝ හට ජාත්‍යන්තර පිටියේ එතරම් කලක් රැඳී සිටින්නට අවකාශය ලැබුණේ නැති තරම් ය.

ශෝ ගේ පරිච්ඡේදය සෙමෙන් සෙමෙන් අඩුවෙන් ඇසෙන මට්ටමකට පත් වද්දී 2020 බ්‍රෝඩර් ගවස්කාර් තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ශුබ්මන් ගිල් ටෙස්ට් සංචිතයට නම් කිරීමට තීරණය කලේය. ගිල් එම තරඟාවලියේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගන්නට සමත් වූ නමුත් ගිල් ජාත්‍යන්තර වරම් ලද මුල් කාල සීමාව තුල ටෙස්ට් පිටියේ සාර්ථක වන්නට ගිල්ට අවකාශය ලැබුණේ නෑ.තමන් එක්දින පිටියේ ලද ආරම්භය මෙන් සාම්ප්‍රදායික තරඟ රටාවට අවතීර්ණ වන්නටද ගිල් හට හැකියාවක් නොලැබීම ගිල්ගේ ආගමනය එතරම් විශාල රාවයක් මාධ්‍ය තුල නිර්මාණය කරවීම වලක්වා ලූවා. නමුත් පළමු තරඟයේදීම මෙල්බන් හිදී ලකුණු 45 ක් හා 36 ක් රැස් කරගන්නට ඔහු සමත් විය.පළමු තරඟාවලිය තුලදී ගිල් ඔස්ට්‍රේලියානු තත්වයන් තුල තරමක සාර්ථකත්වයක් ඉසිලූවා. ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන්ට එරෙහිව නැගී සිටීමට තරම් සවිමත් වූ ගිල් පළමු ටෙස්ට් තරඟාවලිය හමාර කරේ අර්ධ ශතක දෙකක් ද සහිතවයි.

පෙරදී සඳහන් කල සේම ගිල් හට සාම්ප්‍රදායික ටෙස්ට් තරඟ රටාව තුල සාර්ථක වීම එතරම් පහසු වී නැහැ.නමුත් ගිල් තම පිතිකරණ තුල මනා සුහුරු බවක් හා ආරම්භක පිතිකරුවෙකු සතු විය යුතු විශ්වාසදායී ආරක්ෂණ තාක්ෂණයක් හා පහරවල් පරාසයක් පෙන්නුම් කර තිබෙනවා. අවසන් මාස දෙකක පමණ කාලය තුල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මීලඟ පරිච්ඡේදය තමා විය යුතු බව දිගින් දිගටම පෙන්නුම් කරමින් සිටිනවා.

ඉකුත් දෙසැම්බරයේ මංගල ටෙස්ට් ශතකයත්,අවසන් ජනවාරියේ මංගල එක්දින ද්විත්වශතකයත් අද ඉන්දීය පිතිකරුවෙකු ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ රැස් කල හොඳම පෞද්ගලික ඉනිමත් වාර්ථා කරන්නට ගිල් සමත් වූවා. ඒත් සමඟින් 23හැවරිදි ගිල් අද වාර්ථා පොත් අලුත් කලේ තරඟ ආකෘති තුනෙහිම ශතක ලබාගත් ලාබාලතම පිතිකරුවා වෙමින්.

එමෙන්ම නවසීලන්තයට එරෙහිව එක්දින තරඟාවලිය හමාර කරන්නට ඔහු සමත් වූයේ තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියකදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වෙමින්. ජගත් එක්දින ක්‍රිකට් ලොව ද්විත ශතක ලාභී ලාබාලතමයා වෙමින්.එමෙන්ම වේගවත්ම එක්දින ලකුණු 1000 හිමිකරුවාද වෙමින් වීම විශේෂත්වයක්.

මේදක්වා ජාත්‍යන්තර තරඟ 40 ක් ලකුණු 2000 ක් ද්විත්ව ශතකයක්,ශතක හතරක් අර්ධ ශතක 9 ක් තමාගේ නම ඉදිරියෙහි ලියාගන්නට ගිල් සමත්කම් දක්වා තිබෙනවා. සචින්ගේ පරිච්ඡේදය කියැවූ ඉන්දීය ක්‍රීඩා ලෝලීන් හට විරාට් නම් පරිච්ඡේදය කියවන්නට අවකාශය ලැබුණා.විරාට්ගේ පරිච්ඡේදය පසෙකින් කියවද්දීම ඉන්දීය ක්‍රිකට් හි අනාගත පරිච්ඡේදය ශුබ්මන් ගිල්ගෙන් කියැවීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

නව යුගයක නව තරු බිහිවන්නේ කෙසේද එලෙසම වර්ථමානය හා අනාගත ක්‍රිකට් වංශකතාව ගිල් වෙනුවෙන් ලියැවේවි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button