Cricket NewsDomestic CricketEXCLUSIVE

පිතිකරුවන්ගේ දක්ෂතා හේතුවෙන්, තරුණ ක්‍රිකට් තරු සොයා යන NSL සිව්දින තරගාවලියේ සමාරම්භය ජය පැරදුමෙන් තොර වෙයි.!

තරුණ ක්‍රිකට් තරු සොයා යන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ ප්‍රධානම තරග අංශය වන සිව්දින තරගාවලියේ සමාරම්භක සතියේ පැවැති තරග 2 ම ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ පිතිකරුවන්ගේ දක්ෂතා පෙන්නුම් කරමිනි.

යාපන පිලට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ කණ්ඩායමේ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 174ක් රැස්කිරීම මත එම කණ්ඩායමට පරජයවීමේ අවධානමෙන් මිදීමට හැකියාව ලැබිණ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති නුවර ගාල්ල තරගයේදී ගාල්ල කණ්ඩායමේ සමිඳු ලක්ෂාන් ලකුණු106ක් සහ නුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 122ක් රැස් කරමින් ශතක වාර්තා කිරීමද විශේෂත්වයකි.

යාපන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 195කින් ඉදිරියෙන් සිට දෙවන ඉනිමේදී තරගය නතර කරන විට කඩුලු පහකට ලකුණු 217ක් ලබා කොළඹ මුල් ඉනිමට වඩා ඉදිරියෙන් පසුවූයේ ලකුණු 412කිනි.

යාපන මුල් ඉනිමේ ලබාගත් ලකුණු 555ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම පන්දුවට පහරදෙද්දී ලකුණු 59කට කඩුලු පහක් දැවී සිටියදී හුදකලා සටනක නිරතවූ අංක හය පිතිකරු රොෂේන් සිල්වා කණ්ඩායමේ ඉනිම නිමවනතුරු නොදැවී ක්‍රීඩාකරමින් පන්දු 259කදී හතරේ 19ක් සමඟ ලකුණු 174ක් නොදැවී ලබා කණ්ඩායමේ ගැලවුම්කරු ලෙස ක්‍රියාකළේය.

ඔහු 9වන කඩුල්ලට නිසල තාරක සමඟ එක්ව ලකුණු 89ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත්කළහ.

යාපන දෙවන ඉනිමේදී නායක සධීර සමරවික්‍රම දැකුම්කළු පිතිහරඹයක නියැලෙමින් ලකුණු 96ක් රැස්කළේ පන්දු 118කට මුහුණ දී හතරේ 11ක්ද සමඟිනි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ වූ විශේෂ සිදුවීම් වූයේ ගාල්ල කණ්ඩායමේ සමිඳු ලක්ෂාන් සහ නුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු ශතක රැස්කිරීමය.

සමිඳු ලක්ෂාන් පන්දු 138කදී හතරේ අටක් හයේ පහරක් සමඟ ලකුණු 106ක් ලබාගත් අතර ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 122ක් රැස්කළේ පන්දු 175කට මුහුණදී හතරේ 11ක් සහ හයේ පහර දෙකක්ද සමඟිනි.

නුවර දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙන අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ළහිරු උදාර සහ ලසිත් කෲස්පුල්ලේ අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීගිය පසු තුන්වන කඩුල්ලට ඕෂද ප්‍රනාන්දු සහ නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් රැස් කරමින් තෙවන කඩුල්ලට ලකුණු 108ක සබඳතාවයක් තබා ගනිමින් කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කර ගත්හ.

කමිඳු මෙන්ඩිස් පන්දු 108කදී හතරේ හයක් සමඟ ලකුණු 55ක් රැස්කළේය.

කොළඹ යාපන තරඟයේ කෙටි ලකුණු සටහන

යාපන මුල් ඉනිම පන්දුවාර 153.4 කදී ලකුණු 555යි – (සමිඳු ප්‍රනාන්දු 141, නවෝද් පරණවිතාන 77, දුනිත් වෙල්ලාලගේ 74, ප්‍රභාත් ජයසූරිය 169/3) සහ දෙවැනි ඉනිම කඩුලු 5ට 217 පන්දුවාර 53.1යි – (සධීර සමරවික්‍රම 96, නිශාන් මධුශංඛ 40, සංතූෂ් ගුණතිලක නොදැවී 29, අෂේන් බණ්ඩාර 25/2)

කොළඹ මුල් ඉනිම පන්දුවාර 109.5 කදී ලකුණු 360 – (රොෂේන් සිල්වා නොදැවී 174, ක්‍රිෂාන් සංජුල 35, නිසල තාරක 38, කල්හාර සෙනෙවිරත්න 44/2, කසුන් මධුශංඛ 36/2, දුනිත් වෙල්ලාලගේ 117/2)

නුවර ගාල්ල තරඟයේ කෙටි ලකුණු සටහන

නුවර මුල් ඉනිම පන්දුවාර 120.1 කදී ලකුණු 482 යි – (කමිඳු මෙන්ඩිස් 111, ලසිත් කෲස්පුල්ලේ 93, ළහිරු උදාර 92, කසුන් විදුර 53, හෙෂාන් හෙට්ටිආරච්චි 64/4) සහ දෙවන ඉනිම පන්දුවාර 64.4 කදී කඩුලු 5ට ලකුණු 253 යි – (ඕෂද ප්‍රනාන්දු නොදැවී 122, කමිඳු මෙන්ඩිස් 55, කසුන් විදුර 28, සහන් ආරච්චිගේ 26, ධනංජය ලක්ෂාන් 24/3, චානක රුවන්සිරි 30/1)

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 149.4 කදී ලකුණු 465යි – (පබසර වඩුගේ 128, සමිඳු ලක්ෂාන් 106, හෙෂාන් හෙට්ටිආරච්චි 43, සහන් ආරච්චිගේ 62/3, අසිත ප්‍රනාන්දු 89/2, නිපුන් රන්සික 66/2යි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7