Cricket NewsEXCLUSIVEInternational

වනිඳු හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට ගෞරවනීය ජයක් අත්කර දෙයි.

කලකට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පැමිණි වනිඳු හසරංගගේ අති විශිෂ්ට පන්දු යැවීම (19/7) නිසා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තුන්වැනි එක්දින අන්තර්ජාතික තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගත්තේය. ඒ සමගම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත තරගාවලියේදී ශ්‍රී ලංකාවට 2-0 ක ජයක් හිමිවිය.

ඉනිමේ 9 වැනි ඕවරය යැවීමට පැමිණි වනිඳු හසරංග, ඕවර 5.5 ක් යවමින් ලකුණු 19 කට කඩුලු 7 ක් දවාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය ලකුණු 97 ක් තරම් ආසන්නයට කැඳවා ගනිමිනි.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, නැවතත් ලකුණු නොලබා දැවී ගිය නමුත් පසුව පැමිණි නායක කුසල් මෙන්ඩිස් පන්දු 51 කින් ලකුණු 66 ක් ලබාගත්තේ ඕවර 10.2 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම අපේෂිත ඉලක්කය කරා කැඳවාගෙන යමිනි. මෙන්ඩිස්, නායකත්වයට පත්වීමෙන් පසුව ලබාගත් පළමු වැනි අර්ධ ශතකය මෙයයි. ඊට හතරේ පහර 9 ක් සහ එක්ස්ට්‍රා කවර්ස් කලාපයට ඉහළින් ගැසූ යෝධ හයේ පහරක් ද ඇතුළත් විය.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් ලකුණු රැස්කිරීම තෝරා ගත් අතර පළමුවෙන් වර්ෂාව පැමිණෙන විට සිම්බාබවේ කණ්ඩායම, ඕවර 7.4 කදී කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටියේය. එහෙත් පස්වරු 5.15 ට තරගය ආරම්භ වීමෙන් පසුව පන්දුව අතට ගත් වනිඳු, දෙවැනි වර්ෂාවෙන් බාධා පැමිණීමට පෙර, පන්දු 07 ක් ඇතුළතදී, ලකුණු 05 කට කඩුලු 3 ක් දවාගත්තේය.

වර්ෂාව නිසා දෙපිලම ක්‍රීඩාගාරයට යන විට සිම්බාබ්වේ පිල කඩුලු 3 ක් දැවී ලබා සිටියේ ලකුණු 48 කි.
වර්ෂාව හේතුවෙන්, දෙවැනි වතාවටත්, පැය දෙක හමාරක් පමණ තරගය නතර කර තිබූ නමුත් රාත්‍රී 8.00 ට යළි ආරම්භ වූයේ එක් පිලකට ඕවර 27 ක තරගයක් ලෙසිනි. එහෙත් සිම්බාබ්වේ කණ්ඩායම දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍ය වූයේ ඕවර 22.5 කි.

වනිඳු කඩුලු 7 ක් දවාගනිද්දී ඩිල්ෂාන් මධුශංක, මහීෂ් තීක්‍ෂණ සහ ජනිත් ලියනගේ කඩුල්ලක් බැගින් දවාගත්හ.
තවමත් 19 හැවිරිදි ෂෙවොන් ඩැනියෙල් අද ශ්‍රී ලංකා හිස්වැස්ම දිනාගත්තේය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි-20 තරගාවලිය ලබන ඉරිදා (14 වැනිදා) ආරම්භ වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7