Cricket NewsEXCLUSIVE

“ක්‍රිකට් ආයතනය පොඩි හෝ සහනයක් දෙනවනම් දෙවරක් නොසිතා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මම සුදානම්” – භානුක රාජපක්ෂ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙස සැලකෙන භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළා.

කෙසේ නමුත් මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර සිටියේ භානුකව නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වන ලෙසයි.

ඒ අනුව මේ දිනවල සමාජ මාධ්‍යයන්ගේ ලැව් ගින්නක් මෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම පුවත බවට භානුක රාජපක්ෂගේ විශ්‍රාම යෑම පත් වී තිබෙනවා.

විස්සයි විස්ස තරඟ රටාවේ ශ්‍රී ලංකාව සතු වටිනාම පිතිකරුවෙකු වන භානුකගේ විශ්‍රාම යෑම පිළිබඳව ප්‍රේක්ෂකයින් සිය නොසතුට පළ කිරීමට ආරම්භ කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හෑෂ්ටැග් ආශ්‍රයෙන් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් පවා ආරම්භ කොට තිබුණි.

#DontRetireBhanuka හෑෂ්ටැග් ආශ්‍රිතව කළ මෙම ව්‍යාපාරය මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් ප්‍රචලිත වී ඇත.

මෙම විශ්‍රාම යෑමේ තීරණය සම්බන්ධයෙන් භානුක රාජපක්ෂගෙන්ම විමසීමක් කිරීමට අප උත්සාහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට අපට අවස්තාවක් නොලැබුණි. මේ නිසාවෙන් ඔහුගේ පවුලේ සමීපතමයන්ගෙන් අදහස් විමසීමට අප තීරණය කැළෙමු.

භානුක රාජපක්ෂගේ අස් වීමට හේතුව වී තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැණ වූ දැඩි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයන්ය.

මාස 6ක කාර්‍යබහුල කාලසටහනක් යටතේ ක්‍රීඩා කිරීමෙන් අනතුරුව සති 3ක වැනි කාලයක් ඇතුළත් එක්වරම මේ ආකාරයේ වෙනසක් සිදු කරගැනීම අසාධාරණයක් බවට භානුක රාජපක්ෂගේ සමීපතමයෙක් අප කළ විමසීමකදී ප්‍රකාශ කොට තිබුණි.

භානුක ජනවාරි මස පැවත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් තමන්ට සහනයක් ලබා දෙන ලෙසට ඉල්ලූ බවත් තමාට මාර්තු මාසයේදී අදාල පරීක්ෂණයට මුහුණ දීමට හැකි බවටත් ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

ඔහුගේ සමීපතමයෙකු අප සමඟින් පැවසුවේ මාර්තු වන තෙක් සහනයක් ලබා දී සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියානු තරඟ සඳහා භානුකව තෝරාගන්නා ලෙසට ඉල්ලා තිබුණු බවයි.

එමෙන්ම එම තරඟ වලට තෝරා නොගෙන ලකුණු අතර සිටින පිතිකරුවෙකු ක්‍රීඩා පිටියෙන් ඉවත් කොට තැබීම සහ එක් වරම ලෝක කුසලානය පෙනෙන මානයේදී කණ්ඩායමට රැගෙන ඒම එම ක්‍රීඩකයාට කරන විශාල අසාධරණයක් බවටත් එම “සමීපතමයා” අපට කීවාය.

එමෙන්ම මෙම ක්‍රියාවලිය නිසාවෙන් භානුක මේ වන විටත් මානසිකව දැඩි පීඩනයකින් සිටින බවටත් ඔහු අපට ප්‍රකාශ කළේය.

එමෙන්ම එක්දින තරඟ රටාවට තවමත් නවකයෙක් වන භානුකට මෙම තරඟාවලි ස්වර්ණමය අවස්තාවන් බවත් මේවා මඟ හැරීම අසාධාරන බවටත් වැඩි දුරටත් පැවසීය.

එමෙන්ම පවුල් ආරංචි මාර්ග පවසන අයුරින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භානුකගේ ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳව නැවතත් සළකා බලන ලෙස ඉල්ලීම් කර ඇත.

කෙසේවෙතත් මෙම යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහුට සහනයක් “මාර්තු වන තෙක්” ලබා නොදෙන්නේ නම් මෙම තීරණය වෙනස් කළද ප්‍රයෝජනයක් නොමැති බවට පවුල් ආරංචි මාර්ග පවසා සිටියේය.

වයස අවුරුදු 30ක ක්‍රීඩකයෙක් ලකුණු අතර සිටින මොහොතකදී ජාත්‍යන්තර පිටියෙන් ඉවත් කර ජිම් එකට යැවීමෙන් මෙම වසර තුළදී ඇරඹෙන ලෝක කුසලානයට ඔහුගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට කල් නොමැති බවටද පවුලේ සමීපතමයෙක් අප සමඟින් පැවසීය.

එමෙන්ම මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන #DontRetireBhanuka මෙහෙයුම සහ ප්‍රේක්ෂක ආකර්ෂණය පිළිබඳවත් අප භානුකගේ සමීපතමයෙකුගෙන් විමසීමක් කළ අතර භානුක මේ ආදරයට ස්තූතිවන්ත වන බවත්, පොඩි හෝ සහනයක් ලබා දෙන්නේනම් දෙවරක් නොසිතා නැවතත් ජාතික කන්ඩායමට පැමිණීමට සූදානම් බවටත්, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම භානුකගේ එකම අභිප්‍රාය බවටත් එම සමීපතමයා අප සමඟින් පැවසීය.

භානුක ආපහු එයිද? ක්‍රිකට් මණ්ඩලයෙන් ඔහුට සහනයක් ලැබේවිද? තීරණය නුදුරේදීම අප සැමට දැන ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

විශේෂ ස්තුතිය – Batsman.com වෙබ් අඩවියට, ඔවුන් තැබූ සංවාදාත්මක ලිපයක් ඇසුරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7