Cricket NewsEXCLUSIVEInternational

සිංහයන්ගෙන් සත්කාරක බංගලාදේශයට කදිම සත්කාරයක් – සිංහයින් ජයග්‍රාහි මාවතේ දොරටු විවර කරගනී.

සිව්වැනි ඉනිමේදී ලකුණු 511 ක් ලබාගැනීමේ අභියෝගය බංග්ලාදේශීන් අබිමුවට තල්ලු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිලත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (24 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සත්කාරකයන්ගේ කඩුලු 5 ක් ලකුණ 37 කට බිම දැමූහ. ලකුණු සංඛ්‍යාව 47 දක්වා ඉදිරියට ගෙන යමින් බංග්ලාදේශීන් තරගය අවසන් කළ නමුත් ඔව්හු තවමත් ශ්‍රී ලංකාව වඩා ලකුණු 463 ක් පසුපසින් සිටිති.

තරගයේ තවත් දින දෙකක් සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයගැනීමට අවශ්‍යව ඇත්තේ අවසන් කඩුලු 5 දවාගැනීමයි. ස්ලිප් කලාපයේ ක්‍රීඩකයන් පස් දෙනකු රඳවා තබා, විශ්ව ප්‍රනාන්දු (13/3) ප්‍රමුඛ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෝ ජයග්‍රහණයේ මාවත දිගේ යමින් සිටිති.

බංග්ලාදේශයට තරගය ජයගැනීමට නම් සිව්වැනි ඉනිමේදී ලකුණු 511 ක් ලබාගත යුතුව ඇත. එහෙත් වසර 147 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේදී තරගයක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිල වසර 2003 දී ඕස්ටේ්‍රලියානුවන් හමුවේ කඩුලු 7 කට ලකුණු 418 ක් ලබාගැනීමයි.

එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් තුනවැනි පිතිකරු යුගළය වන්නේ ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාය. ඕස්ටේ්‍රලියාවේ චැපල් සොහොයුරෝ (ග්‍රෙග් සහ ඉයන්) 1974 දී නවසීලන්තයට එරෙහිව එකම තරගයේදී ශතක දෙකක් බැගින් ලබාගනිමින් එවන් දස්කමක් කළ පළමු පිතිකරු යුගළය විය. අනතුරුව පාකිස්තානයේ මිස්බා උල්හක් සහ අසාර් අලී වසර 2014 දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව එකම තරගයේදී ශතක දෙකක් බැගින් ලබාගත්හ. එයින් වසර 10 කට පසුව ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා එය කළහ.

ධනංජය සහ කමිඳු දෙදෙනාම ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළෝ වෙති.

ශ්‍රී ලංකා මුල් ඉනිමේදී කඩුලු 5 ක් ලකුණු 57 කට බිඳ වැටුණු කල්හි එක්වූ ධනංජය සහ කමිඳු හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 280 ක් දක්වා ඉහළට ගෙන ගියහ. දෙවැනි ඉනිමේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම එවැනිම තත්ත්වයකට මුහුණ දුන්නේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (23 වැනිදා) ආරම්භ වූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව එක් අවස්ථාවකදී කියැවුණේ කඩුලු 4 කට ලකුණු 64 ක් ලෙසිනි. ඒ අවස්ථාවේ දිමුත් කරුණාරත්න ලබාගත් අර්ධ ශතකය නිසා ලකුණු 100 පසුකර ගත් නමුත් අද පෙරවරුවේදී මුරකරු පිතිකරු විශ්ව ප්‍රනාන්දු දැවී යාමෙන් පසුව ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 6 ට 126 ක් ලෙසිනි. නැවතත් එක්වූ ධනංජය සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 173 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ලකුණු 300 කඩඉම ආසන්නයටම ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියහ.

ධනංජයගේ පන්දු 179 ඉනිම නිමාවන විට කමිඳුත් සිය ශතකය සම්පූර්ණ කර සිටියේය. ශ්‍රී ලංකාවේ වසර 42 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එකම ටෙස්ට් තරගයකදී පිතිකරුවන් දෙනෙකු ශතක දෙකක් බැගින් ලබාගත් පළමු වැනි අවස්ථාව වාර්තා පොත් අතරට එක්විය.

මෙහෙදි හසන්ගේ පන්දුවකින් තනි ලකුණක් ලබාගත් ධනංජය ද සිල්වා සිය ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව දුන් පහසු උඩපන්දුවක් නහීද් රානා අතිනි ගිළිහී ගියේය. එහෙත් වැඩි වේලාවක් නොයාම ‘ෂෝඩ් මිඩ් විකට්’ ස්ථානයේ සිටි සකීර් හසන් විසින් රැකගන්නා ලද උඩපන්දුවකින් ධනංජයගේ ඉනිම නිමා විය.

ශතකය අබිමුව සිටි කමිඳු මෙන්ඩිස්ගේ පිත්තටම නජ්මුල් හොසේන්ගෙන් ලැබුණු පන්දුවෙන් තනි ලකුණක් ලබාගත් වමත්කාරයා, තේ පානයට යාමට පෙර, තම දෙවැනි ටෙස්ට් තරගයේදීම දෙවැනි ශතකයත් ලබාගත්තේය.

ධනංජය දැවී ගිය නමුත් පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව ඉදිරියටම ගිය කමිඳු මෙන්ඩිස් අවසන් පිතිකරුවා ලෙසින් දැවී ගියේ කසුන් රාජිත (නොදැවී 04) සමගින් එක්ව 10 වැනි කඩුල්ල සඳහාත් ලකුණු 52 ක් එකතු කිරීමෙන් පසුවය. මේ වන විට ටෙස්ට් තරග දෙකකට පමණක් සහභාගි වී සිටින කමිඳු මෙන්ඩිස් සිය ටෙස්ට් ඉනිම තුනේදී ලකුණු ලබාගත් ආකරය සටහන් වන්නේ 61, 102 සහ 164 ක් ලෙසිනි. කමිඳුගේ පන්දු 237 ක ඉනිම හතරේ පහර 16 කින් සහ හයේ පහර 6 කින් අලංකාර විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් තරග ඉතිහාසය වසර 24 ක් තරම වූවත් ශ්‍රී ලංකාව මේ දක්වා එකම ටෙස්ට් තරගාවලියක් හෝ බංග්ලාදේශයට පරාජය වී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7