EXCLUSIVELegends Story

තවමත් නොබිඳුණු වාර්තා රැසක් සමගින් ශ්‍රී ලංකාව සිය අණසක පැතිරවූ ආසියානු කුසලාන ඉතිහාසය.!

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ පැය කිහිපයක් පමණයි. හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන සමාරම්භක තරඟයෙන් මෙවර තරගාවලිය ආරම්භ වනවා.

එදා මෙදා තුර ආසියානු කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභීන් සහ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. එහිදී සනත් ජයසූරිය සහ කුමර් සංගක්කාර පිතිකරුවන් අතර පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගෙන ඇති අතර ලසිත් මාලිංග සහ මුත්තයියා මුරලිදරන් පන්දු යවන්නන් අතර පළමු සහ දෙවැනි ස්ථානවල පසුවෙති.

වසර 1990 සිට 2008 දක්වා කාලය තුළ ආසියානු කුසලාන තරග 25 කට ක්‍රීඩා කළ ජයසූරිය, එහිදී ශතක 6 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ලකුණු 1220 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 53.05 ක සාමාන්‍යයක් සහ 102.52 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. 2004 වසරේදී ඉන්දියාවට එරෙහිවද, 2008 වසරේදී බංග්ලාදේශයට එරෙහිවද ලකුණු 130 බැගින් රැස්කිරීමටද ඔහු සමත් විය.

ආසියානු කුසලාන තරගවලදී ජයසූරියට පමණක් දෙවැනි වන සංගක්කාර, තරග 24 කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1075 කි. ඊට ශතක 4 ක් සහ අර්ධ ශතක 8 ක් ඇතුළත් වන අතර එහිදී ඔහුගේ සාමාන්‍යය 48.86 ක් ලෙසද, ප්‍රහාරාත්මක වේගය 84.51 ක් ලෙසද සටහන් වේ. 2008 වසරේදී බංග්ලාදේශයට එරෙහිව රැස්කළ ලකුණු 121 ඔහුගේ ඉහළම ආසියානු කුසලාන ඉනිම වේ.

ආසියානු කුසලාන තරගවල වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති පිතිකරුවන් 10 දෙනා අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙන් දෙදෙනකු සිටින අතර ඒ අර්ජුන රණතුංග සහ මහේල ජයවර්ධනය. තරග 19 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 741 ක් රැස්කිරීමට අර්ජුන සමත් වූ අතර තරග 28 කදී අර්ධ ශතක 7 ක් සමග මහේල රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 764 කි.

එම ලැයිස්තුවේ ඉදිරියට ඒම සඳහා පිතිකරුවන් තිදෙනකුට අවස්ථාව ඇති අතර ඉන්දියාවේ රෝහිත් ශර්මා (ලකුණු 833), විරාට් කෝලි (766) සහ බංග්ලාදේශය මුෂ්ෆිකුර් රහීම් (ලකුණු 739) එම ක්‍රීඩකයෝ වෙති. ශර්මා මේ වන විට ජයසූරියට වඩා ලකුණු 337 ක්ද, කෝලි ලකුණු 454 ක්ද, රහීම් ලකුණු 481 ක්ද පසුපසින් සිටිති.

මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට මාලිංග සමත්ව ඇත්තේ තරග 15 කදී කඩුලු 33 ක් බිඳහෙළමිනි. අවස්ථා 3 කදී කඩුලු 3 බැගින්ද, අවස්ථා 2 කදී කඩුලු 4 බැගින්ද දවාගෙන ඇති මාලිංග, එහිදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 18.84 ක රඳවාගෙන සිටියි. 2010 වසරේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන මුරලි, තරග 24 කදී කඩුලු 30 ක් දවාගෙන ඇත්තේ 28.83 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. එක් අවස්ථාවක කඩුලු 5 ක්ද, තවත් අවස්ථාවක කඩුලු 4 ක් දවාගෙන ඇති මුරලිගේ ආසියානු කුසලාන තරගයකදී හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ 2008 වසරේදී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගැනීමය.

ආසියානු කුසලාන තරගවල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නන් 10 දෙනා අතර තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙන් තිදෙනකු සිටින අතර ඒ අජන්ත මෙන්ඩිස්, සනත් ජයසූරිය සහ චමින්ද වාස්ය. මෙන්ඩිස් තරග 8 කදී කඩුලු 26 ක් දවාගෙන එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවන අතර වාස් තරග 19 කදී කඩුලු 23 ක්ද, ජයසූරිය තරග 25 කදී කඩුලු 22 ක්ද දවාගැනීමට සමත්ව සිටිති.

එම ලැයිස්තුවේ ඉදිරියට පැමිණීම සඳහා පන්දු යවන්නන් තිදෙනකුට අවස්ථාව ඇති අතර බංග්ලාදේශයේ සකීබ් අල් හසන් (කඩුලු 24), ඉන්දියාවේ රවින්ද්‍ර ජදේජා (කඩුලු 22) සහ රවිචන්ද්‍රන් අෂ්වින් (කඩුලු 18) එම ක්‍රීඩකයෝ වෙති. සකීබ් මේ වන විට මාලිංගට වඩා කඩුලු 9 ක්ද, ජදේජා කඩුලු 11 ක්ද, අෂ්වින් කඩුලු 15 ක්ද පසුපසින් සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7