කාන්තා තුන්කොන් තරගාවලියේ ශ්‍රි ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගයේ ජය ඔස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා සහ එංගලන්ත අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සහභාගිත්වයෙන් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු තරගයෙන් ලකුණු 88ක ජයක් ඔස්ට්‍රේලියාව හිමිකර ගත්තේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මුලින් පන්දුවට පහර දී සියලු දෙනා දැවී ලකුණු 228ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලු දෙනා ලකුණු 140කට දැවී ගියහ.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමක් කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඕවර 50 එක්දින ක්‍රිකට් තරගයකට සහභාගි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මේ තරගයෙන් ශ්‍රී ලංකා පිල පරාජයට පත් වුවද කාන්තා ක්‍රිකට් නැංවීම උදෙසා මෙවැනි ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම ක්‍රිකට් ක්‍රීඩාවට යහපතක් වනු ඇත.
මේ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රබල තර්ජනයක් ගෙන දුන් ඔස්ට්‍රේලියා 19න් පහළ ක්‍රීඩිකා බොනී බෙරී මුල් කඩුලු තුනම ලකුණු 16ක් වෙද්දී දවා ගැනීමෙන් ශ්‍රී ලංකා පිල අසීරුතාවට ලක් වූවේය. ගාලු කොටු පවුර අන්තයෙන් ආරම්භක වේග පන්දු යැවූ බෙනී බෙරීට යම් දුරකට හෝ සාර්ථක ලෙස මුහුණ දුන්නේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිනිය වූ සන්ජනා කාවින්දි පමණි. සන්ජනා පන්දු 94කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වූ අතර, නායිකා මනුදි නානායක්කාර ලකුණු 10ක් ලබා සිටියදී දැවී ගියාය. ලකුණු 8ක් තුළ ශ්‍රී ලංකා පිලේ කඩුලු 3ක් බිද වැටී තිබියදී අවසන් කඩුල්ලට එක්වූ හිරුනි හංසිකා හා චමෝදි මුණසිංහ පන්දු 49කදී ලකුණු 27ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ.
ඔස්ට්‍රේලියා 19න් පහළ අංක තුන පිතිකාරිනි ලුසී හැමිල්ටන් පන්දු 95කදී ලකුණු 80ක් රැස් කළ අතර, ඇය හතරේ පහර 10ක් එල්ල කළේය. හැමිල්ටන් හා ග්‍රේස් ලයන්ස් දෙවැනි කඩුල්ලට පන්දු 110කදී ලකුණු 91ක් රැස් කළහ. ග්‍රේස් ලයන්ස් හතරේ පහර 5ක් සමඟ පන්දු 66කදී ලකුණු 39ක් එක් කළාය.
මේ තරගාවලියේ දෙවැනි තරගය ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතර අද (7) පැවැත්වෙන අතර, අවසන් තරගය මේ 9 දා එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.