Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකාවේ ජයග්‍රාහි බලාපොරොත්තු දැල්වේ – බංග්ලාදේශය කඩුලු 3ක් අතැතිව ලකුණු 243ක් පසුපසින්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ චැටොග්‍රැම්හිදී පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට සංචාරක ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය අබියසට පැමිණ සිටී.

මේ තරගයේ ජය ගැනීම සඳහා හිමි වූ ලකුණු 511ක දැවැන්ත ඉලක්කය හඹායන බංග්ලාදේශය ඊයේ තරගය නතර කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 268ක් රැස් කරමින් අසීරු තත්ත්වයට පත්ව සිටියේය. ඒ අනුව ඔවුන්ට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 243ක් අවශ්‍ය වන අතර, ශ්‍රී ලංකාවට දවා ගැනීමට ඇත්තේ තවත් කඩුලු 3ක් පමණි.

මෙහ්දි හසන් මිරාස් ලකුණු 44ක් සහ ටයිජුල් ඉස්ලාම් ලකුණු 10ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ඊයේ දිවා විවේකයට ඕවර කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිමට අත්හිටුවීමට තීරණය කළ අතර, ඕවර 8කදී කිසිවකු නොදැවී ලකුණු 38ක් රැස් කර සිටි බංග්ලාදේශයට සවස තේපානය වන විට කඩුලු 4ක් අහිමි කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මහමුදුල් හසන් (24), සකීර් හසන් (19), නජ්මුල් හොසේන් (20) අඩු ලකුණු ගණනකට දැවී යද්දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙස මොමිනුල් හක් ලකුණු 50ක් රැස් කිරීමට සමත් විය. සිව්වැනි කඩුල්ල ලෙස ඔහු දැවී යෑමෙන් අනතුරුව

පිටියේ එක් වූ ශකීබ් අල් හසන් සහ ලිටොන් දාස් 5 වැනි කඩුල්ලට ලකුණු 61ක් එක් කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පමා කළහ.

කෙසේ වෙතත් මුළු ලකුණු 193දී ලකුණු 36ක් ලබා සිටි ශකීබ් පිටියෙන් ඉවත් කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූ අතර, තවත් ලකුණු 4කට පසු ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දාස්ගේ ඉනිම ලකුණු 38කින් නිමා විය.

පන්දු යැවීමේදී කමිඳු මෙන්ඩිස්, ළහිරු කුමාර සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඊයේ දිනය ආරම්භ වන විට නොදැවී සිටි ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් (39) සිය ඉනිම ලකුණු 59ක් දක්වා ඉදිරියට ගෙන ගිය අතර, ඔහු ඊයේ වාර්තා කළේ 41 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. මැතිව්ස් දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 132ක් ලෙස සටහන් වූ අතර තවත් ලකුණු 25කට පසුව ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේ බංග්ලාදේශයට ලකුණු 511ක දැවැන්ත ඉලක්කය දෙමිනි.

ඒ වන විට ප්‍රභාත් ජයසූරිය නොදැවී ලකුණු 28ක් සහ විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 8ක් රැස් කර තිබිණි. පන්දු යැවීමේදී හසන් මහ්මූඩ් කඩුලු 4ක් සහ කාලිඩ් අහමඩ් කඩුලු 2ක් දවා ගත්තේය.

අද තරගයේ අවසන් දිනයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button