Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකාව හමුවේ ලැබූ ටෙස්ට් පරාජයෙන් මානසිකව වැටුණු බංගලාදේශ ක්‍රීඩකයන්ව මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කෙරේ.!

පසුගිය දා ශ්‍රී ලංකාව සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියෙන් තරග 1-0ක පරාජයක් අත්විඳීමට සිදුවීම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩාව තුළ යම් කැලඹීමක් ඇති කර තිබෙන බව වාර්තා වෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ දෙවැනි ටෙස්ට් තරගයේදී ලද පරාජයත්, පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමත් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින් බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් සූදානම් වන බවයි.

නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ දඟ පන්දු යවන්නන්ගෙන් අපේක්ෂිත දස්කම් ප්‍රකට නොවීම මුල්කරගනිමින් දින 4ක විශේෂ දඟ පන්දු පුහුණු කඳවුරක් පැවැත්වීමට කටයුතු කර ඇති බව පැවැසෙන අතර, එහි ප්‍රධානත්වය බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු රංගන හේරත් දරනු ලබනවා.

ඒ අනුව මෙම ටෙස්ට් තරගාවලි පරාජයත් පසුගිය තරග කිහිපයේදී දුර්වල පිතිකරණයක් දැක්වීමත් නිසා බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් නායකත්වයෙන් ඉවත් වුනා.

කෙසේ වෙතත් පසුගිය ටෙස්ට් ඉනිම් 9ක් තුළ හිටපු නායක මොමිනුල් හක් ලකුණු 10 සීමාවට ළඟාවීමට අපොහොසත් වූ බවත් පෙන්වා දී තිබූ බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා පවසා තිබුණේ ඉන් අවස්ථා 3කදීම මොමිනුල් ලකුණු නොලබා දැවී ගිය බවයි.

ඒ අනුව නායකත්වයත්, අමතරව පිතිකරණයේ වගකීමත් මොමිනුල්ගේ හිස මත ඇදවැටීම හමුවේ එය ඔහුගේ පිතිකරණයට අයහපත් බලපෑමක් එල්ල කර ඇති බවද බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දී තිබිණි.

මේ අතර ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් අනතුරුව එරට ටෙස්ට් පිලේ ක්‍රීඩයන්ගේ මානසික ගැටලු නිරාකරණය කිරීම සඳහා ඔවුන් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නස්මුල් හසන් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ටෙස්ට් තරග 2ක් නොකඩවා ක්‍රීඩා කිරීමට අපොහොසත් වීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත්, මෙවන් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් මානසිකව ශක්තිමත් නොමැති බවද මෙහිදී නස්මුල් හසන් පවසා තිබිණි.

ඒ අනුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ක්‍රිකට් මෙහෙයුම් අංශය මෙයට පෙරද අදාළ ක්‍රීඩකයන් මානසික වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට සූදානමින් පසුවුවද හේතු කිහිපයක් නිසා එම කටයුත්ත මඟහැරී ගිය බවද නස්මුල් හසන් මෙහිදී සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ සාකච්ඡාවේදී බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා පෙන්වාදී තිබුණේ ශ්‍රී ලංකාව සමඟින් නිමාවූ ටෙස්ට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන විටත් බොහෝ ක්‍රීඩකයන් දැඩි වෙහෙසට පත්ව ඇති බව තමන්ට දැනගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම ඉන් අනතුරුව ඉදිරි දින දෙකෙහිදී එම තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබූ බවත් නස්මුල් හසන් මෙහිදී සඳහන් කර තිබිණී.

ඒ අනුව ලොව ප්‍රමුඛතම පුහුණු­කරුවන්ගේ දායකත්වයෙන් ඉහළම තාක්ෂණය යොදා ගනිමින් බංග්ලාදේශ ක්‍රීඩකයන් පුහුණුවීම් සිදු කළද ඔවුන් එවන් තත්ත්වයට මුහුණදෙන්නේ ඔවුන්ගේ මානසික යහපැවැත්මේ පවත්නා ගැටලු හේතුවෙන් බවත් බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා මෙහිදී පෙන්වා දී තිබිණි.

මේ හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම අනිවාර්යයෙන්ම ඉදිරියේදී සිදුකෙරෙන බව නස්මුල් හසන් සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටිනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button