Cricket NewsEXCLUSIVE

ලොව වටා ලීග් තරඟාවලි තමන්ගේ ග්‍රහණයට නතුකරගැනීම විනෝදාස්වාදයක් කරගත් ක්‍රිකට් ලෝකයේ දඩබ්බරයා – ඇලෙක්ස් හේල්ස්

2015 වසරෙන් පසු එංගලන්තය තම සාම්ප්‍රදායික තරඟ රටාව වෙනස් කරමින් නව ගමනක් ඇරඹීමේ ප්‍රතිඵල ඔවුන් මේ වන විටත් භුක්ති විඳිමින් සිටිනවා. සාම්ප්‍රදායික තරඟ රටාවෙන් මිදීමේ පළමු අදියරේදී ඔවුන් වේගවත් ආක්‍රමණශීලී පිතිකරණ මුහුණුවරක් ගත හැකි ක්‍රීඩකයින් වෙත යොමු වීම වැඩි වශයෙන් කැපී පෙනුනා.

අවසන් වසර අට තුල වැඩිම වරක් ඉහලම එක්දින ලකුණු සංඛ්‍යාවේ වාර්ථාව බිඳ දැමීමේ ගෞරවය හිමිවන්නේද එංගලන්තයට යි. මෙලෙස නව ගමනක් කරා ගිය එංගලන්තය ඇලෙක්ස් හේල්ස් මත විශ්වාය තබා සිටියා. නමුත් මෝගන් හා එංගලන්ත පුහුණු කාර්‍ය මණ්ඩලයේ විශ්වාසය කඩ කිරීමත් විනය ගැටලු කිහිපයක් නිසාවෙනුත් ඇලෙක්ස් හේල්ස් හට එංගලන්ත කණ්ඩායමේ දොරටු සම්පූර්ණයෙන්ම වැසී ගියා.

පසු කාලීනව එංගලන්තය 2019 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔවුන් සතුවූ මීලඟ ඉලක්කය වූයේ 2022 විස්සයි-20 ලෝක කුසලානයයි. නව නායකත්වයක් හා නව කලමණාකාරීත්වයක් යටතේ තරඟාවලියට පිවිසෙන්නට බලා සිටි එංගලන්තය තම පිතිකරණ බලඇණියට අඩිතාලම දමන නායක බට්ලර්ගේ ආරම්භක පිතිකරණ සහයකයා ලෙසින් බලාපොරොත්තු තබාගෙන සිටියේ ජේසන් රෝයි පිළිබඳවයි.

ජේසන්ගේ සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය 2019 ලෝක කුසලානයේදී එංගලන්ත කණ්ඩායමට වූයේ විශාල සහනයක් වූ නමුත් විස්සයි-20 ලෝක කුසලානය ආසන්න වන විට රෝයි ගේ රිද්මය අපේක්ෂා කල තරම් හිතකර නොවීමත් ඔහුට ආදේශයක් ලෙසින් යොදාගැනීමට හැකියාව තිබුණු ජොනී බෙයාස්ටෝගේ ආබාධය වන විට ඇලෙක්ස් හේල්ස් සිටියේ සුපිරි රිද්මයක වීමත් හේතුවෙන් රොබ් කීගේ නව කලමණාකාරීත්වය යටතේ බට්ලර්ගේ ආරම්භක සහයකයා වීමේ පළමු තේරීම වූයේ ඇලෙක්ස් හේල්ස්.

එතැන් පටන් වසර තුනක පමණ විරාමයෙන් පසු එංගලන්ත ජර්සියෙන් සැරසුණු හේල්ස් එතැන් පටන් මේ දක්වා යලිත් එංගලන්ත සංචිතයට තමාගේ කැදවීමට ඔහු කිසිවිටෙකත් අසාධාරණයක් නොකරන්නට වග බලාගත්තේය.

අවසන් වසර දෙකක පමණ කාලය තුල සමස්ත විස්සයි-20 රාමුව තුල පිතිකරුවෙකු වශයෙන් හේල්ස් අභිබවා ගිය පිතිකරුවන් සිටියේ ඇඟිලිගණනටත් වඩා අඩුවෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කේන්ද්‍ර කොට ගනිමින් මේ දිනවල පැවැත්වෙන ILT20 තරඟාවලියේදී හේල්ස්ගේ නැවතුම වූයේ DESERT VIPERS කණ්ඩායමයි. එහිදී හේල්ස් ක්‍රීඩා කල තරඟ සියල්ලේදිම ලකුණු පනහේ සීමාව ඉක්මවා රැස් කරගන්නට හේල්ස් සමත් වූයේ එක් ශතකයක්ද සමඟින්.

අවසනාවන්ත ලෙස ලකුණු 99 දී හේල්ස් දැවී නොගියා නම් IL20 ඉතිහාසයේ ශතක දෙකක් රැස් කල පළමු පිතිකරුවා වන්නද ඉඩ ලැබුණි.සමස්ත තරඟ 5 දීම ලකුණු 418 ක් රැස් කරගන්නට හේල්ස් සමත්ව තිබෙන්නේ 170 ඉක්මවන ප්‍රහාරක වේගයක්ද සමඟින්.

මේ වන විට තරඟාවලියේ ලකුණු ලාභීන් අතර පෙරමුණේ හේල්ස් රැඳී සිටිනවා. හේල්ස් එදා මෙදා තුර සර්වකාලීන විස්සයි-20 ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඉතා ඉක්මනින් තමන්ගේ නමද ඇතුලත් කරගනු ඇති බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

මේ වන විටත් 34 වන වියෙහි පසුවන හේල්ස් විස්සයි-20 පිටිය තුල ලකුණු 10779 ක හිමිකරුවෙකි.ශතක 5 කින් හා අර්ධ ශතක 70 කින් පිරුණු හේල්ස්ගේ ලකුණු මල්ල වටා ඔහු රඳවාගන්නා සාමාන්‍ය 30 කි. IPL,BBL,PSL,CPL වැනි ප්‍රමුඛ පෙලේ විස්සයි-20 ලීග් තරඟාවලීන් තුල ඉහල නමක් දිනාගත් පිතිකරුවෙකු වීමත් ඕනෑම තත්වයක් යටතේ පහසුවෙන් පිතිකරණයට අනුගත වීමටත් ඇති හැකියාව ඇලෙක්ස් හේල්ස්ගේ ක්‍රීඩක වටිනාකම තවදුරත් ඔපමට්ටම් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7