Cricket NewsEXCLUSIVE

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකා එක්දින වර්ණයන්ගෙන් සැරසීමට සුදානමින් එක්දින දොරටුව අභියස.!

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව, හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වරක් එක්දින පිටියට කැඳවාගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සූදානම් වන බව තොරතුරු අනාවරණය වනවා.

ඒ අනුව එළඹෙන 15 වැනිදා සිට, එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව, කොළඹදී පැවැත්වෙන නිල නොවන එක්දින තරගාවලියේදී මැතිව්ස් ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර ඇති බවයි අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටින්නේ.

මැතිව්ස් මෙම එක්දින තරගාවලියට කැඳවනු ලබන්නේ මාර්තු මස 25 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින තරගාවලියේදීත් අවස්ථාවක් දීමේ බලාපොරොත්තුවෙන් වන අතර 2023 වසරේ අගභාගයේදී ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නම් සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවදානම් මට්ටමේ ශ්‍රී ලංකාව සිටි.

ලෝක කුසලාන සුපිරි ලීගයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානයේ මේ වන විට සිටිනවා. එහෙත් 8 වැනි ස්ථානයේ සිටින කොදෙව් කණ්ඩායම අභිබවා ඍජුවම සුදුසුකම් ලබා ගනීමට නම් නවසීලන්තයේදී පැවැත්වෙන එක්දින තරග තුනේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ප්‍රසාද ලකුණු 15 ක් ලබා ගැනීම අනිවාර්ය වී තිබේ.

ඒ සඳහා අඩුම වශයෙන්, නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක තරගයක් ජයගනිමින්, අනෙක් තරග දෙකින් එකක් වර්ෂාවට ගොදුරු විය යුතුය. නැතහොත් 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට පොරතුව, සිම්බාබ්වේහිදී පැවැත්වෙන සුදුසුකම් තේරීමේ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකාවට නියත වශයෙන්ම සිදු වනු ඇත.

ඉන්දියාවට එරෙහිව පසුගියදා පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට 3-0 ක දරුණු පරාජයක් හිමිවූ අතර එහිදී පැහැදිළිවම දැකගත හැකිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක භාවයයි. තරග දෙකකදීම 40 වැනි පන්දුවාරය නිමාවීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සම්පූර්ණයෙන්ම දැවී ගියා.

ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් අතර, එක්දින තරගයකදී හොඳම ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය හිමි ක්‍රීඩකයා වන්නේ ඉනිමදී ලකුණු 41.98 ක සාමාන්‍යයක් රඳවාගෙන සිටින කුමාර් සංගක්කාරයි. ලකුණු 41.67 ක සාමාන්‍යයක් සහිත ඇන්ජලෝ මැතිව්ස් මෙම ලයිස්තුවේ සිටින ශ්‍රී ලංකා පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසු වනවා.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන්ගේ යොවුන් ක්‍රීඩකයන් සොයාගැනීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් 2021 මාර්තු මාසයේදී පැවැති කොදෙව් සංචාරයෙන් පසුව එක්දින තරග සඳහා මැතිව්ස්ට කැඳවීමක් නොලැබුණු අතර මේ වන විට එක්දින තරග 218 කට ක්‍රීඩා කර ඇති මැතිව්ස්, ශතක 3 ක් සහ අර්ධ ශතක 40 ක් සමඟින් ලකුණු 5835 ක් ලබාගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button