Cricket NewsEXCLUSIVE

අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස් වීමට සැරසෙයි.!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික කමිටු සාමාජිකයන් ලෙසින් කටයුතු කරමින් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දේපලක් වන අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර යන දෙදෙනාම එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් සකස් කරන ලද ඉල්ලා අස්වීමේ ලිපි අද (04) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම්වරයා වෙත යැවීමට ඔවුන් දෙදෙනාම සූදානමින් සිටියහ.

අරවින්ද ද සිල්වා මහතා මෙන්ම සංගක්කාර මහතා ද ක්‍රිකට් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ කමිටු සාමාජිකයන් වශයෙන් තමන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක නොකරන බව පෙන්වා දෙමිනි.

මේ දක්වාම ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ පුහුණුකරුවන් පත්කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මහතා මෙන්ම කුමාර් සංගක්කාර මහතාත් මහත් සේ කළකිරීමට පත්ව සිටිති.

“අපේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැතිනම්, අපි මෙතන ඉඳලා වැඩක් නෑනේ…” යයි අරවින්ද සහ සංගක්කාර දෙදෙනාම පවසා තිබේ.

මේ අතර හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලද ක්‍රිකට් උපදේශක මණ්ඩලයෙන්ද ඉල්ලා අස්වීමට අරවින්ද ද සිල්වා සහ කුමාර් සංගක්කාර යන මහත්වරුන් පසුගිය 02 වැනිදා (සෙනසුරාදා) තීරණය කළහ.

එහෙත් සෙනසුරාදා සවස දිවයින පුරා පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් දෙදෙනාගේම ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යැවිය නොහැකි වූ බවද දැනගන්නට තිබේ. ඉරිදා (03) දිනය පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවතිණ.

කෙසේ වෙතත් “ක්‍රීඩා අමාත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ක්‍රිකට් උපදේශක මණ්ඩලයත් බල රහිත වී තිබෙන තත්ත්වයක ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමේ තේරුමක් නැතැයි” යන මතයේ අරවින්ද මෙන්ම සංගක්කාරද සිටිති.

රටේ පවතින වත්මන් වාතාවරණය සම්බන්ධයෙන් ද එකඟවීමට නොහැකි බැවින්, එවන් තත්ත්වයක් යටතේ තවදුරටත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවක සේවය කිරීම හිතට එකඟව කළ නොහැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෝ දෙදෙනාම කියති. ඔවුන් දෙදෙනාම ඒ බව සිය සමීප හිතවතුන් සමග පවසා තිබේ.

හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කරන ලද ක්‍රිකට් උපදේශක මණ්ඩලයට අරවින්ද සහ සංගක්කාර දෙදෙනාට අමතරව මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන මහත්වරුද ඇතුළත් ව සිටියහ. එහෙත් පෞද්ගලික හේතු ඉදිරිපත් කරමින්, පසුගිය ජනවාරි 21 වැනිදා, රොෂාන් මහානාම මහතා ක්‍රිකට් උපදේශක මණ්ඩලය හැර ගියේය.

මේ අතර ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ රටේ නායකයන්ට මහජනතාවගේ විශ්වාසය අහිමි වී තිබෙන බැවින් රජයේ නායකයන් ඉල්ලා අස්විය යුතු බවයි.

“සැබෑ නායකයන් වැරැද්ද බාරගන්නවා. අපේ රටේ දුක්විඳින ජනතාව ඒකරාශී වෙලා තමන්ව ආරක්‍ෂා කරගැනීමේ මහා රැල්ලක් ඇතිවී තිබෙනවා…”

“මේ රටේ ආර්ථිකය පාලනය කරන සමහර අය, මිනිසුන්ගේ විශ්වාසය අහිමි කරගෙන සිටිනවා. ඔවුන් තමන්ගේ තනතුරු හැරයා යුතුයි. එයින් පස්සේ, ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීයත්වය ඇතිකරන්න සමත් වඩාත් හොඳ කණ්ඩායමක් අපට ඕනෑ වේවි” යයි මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයෙන් පවසා තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7