Cricket NewsEXCLUSIVE

කැමරන් ග්‍රීන්ගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම පරාජය කළ ඕස්ට්‍රේලියානු A කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කරයි.!

ටෙස්ට් පිතිකරුවකු වන කැමරන් ග්‍රීන්ගේ සැලසුම් සහගත පිතිහරඹය නිසා අපහසුවකින් තොරවම ඉලක්කය කරා අවතීර්ණ වූ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම, කොළඹ එස්.එස්.සී. පිටියේදි ඊයේ (08) පැවැති පළමු නිල නොවන එක්දින තරගයේදී කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගත්තේය.

ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිහරඹයක නිරත වූ කැමරන් පන්දු 111 කට මුහුණ දෙමින්, හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් ද සමගින් ලකුණු 119 ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරු ජොෂ් පිලිප් ලකුණු 05 කට දවාගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වූවත්, පළපුරුදු ක්‍රීඩකයකු වන මැතිව් රැන්ෂෝ සහ හෙන්රි හන්ට් එක්ව ලකුණු සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ දැමූහ.

වෙල්ලාලගේ හමුවේ හෙන්රි හන්ට් දැවීගිය ද ටෙස්ට් ක්‍රීඩකයන් වන මැතිව් රැන්ෂෝ (68) සහ කැමරන් ග්‍රීන් (නොදැවී 89) එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් සංචාරක කණ්ඩායම ජය මාවතට කැඳවාගෙන ආහ.

හතරේ පහර 8 ක් සහිතව ලකුණු 68 ක් ලබාගත් මැතිව් රැන්ෂෝ දැවී ගියේ පුළින තරගංගේ පන්දුවකිනි.

එහෙත් එතැන් සිට කැමරන් ග්‍රීන්ට එක්වූ නායක ඇලෙක්ස් කේරි, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පන්දු යවන්නන් හත් දෙනාම අසහනයට පත්කරමින්, 40 වැනි ඕවරය වන විට ඉලක්කයට ලකුණු 60 ක් තරම ආසන්නයට තම කණ්ඩායම කැඳවාගෙන ආවේය.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ ජාතික කණ්ඩායමේ පිතිකරුවන් අසරණ වූවද, ඕස්ට්‍රේලියානු ‘ඒ’ පන්දු යවන්නන්ට එළව එළවා පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, පළමුවෙන් පන්දුවට පහර දෙමින් ඕවර 50 ක් නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 297 ක් රැස්කර ගත්හ.

මීට දශක දෙකකට පමණ ඉහතදී ලකුණු 297 එක්දින තරගයක් ජයගැනීමට හොඳ ලකුණ සංඛ්‍යාවක් වූ නමුත්, වත්මන් විස්සයි-20 යුගයේදී ලකුණු 300 ක් ලබාගත්තද එක්දින තරගයක ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත නොහැකිය.

නායකයකුගේ වගකීම මැනවින් ඉටුකරමින් ධනංජය ද සිල්වා (68) ලබාගත් අර්ධ ශතකයත්, මැද පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වයත් හේතුවෙන් ඕවර 40 ක් නිමාවේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 221 ක් ලබා සිටියේ අවසන් ඕවර 10 ගනුදෙණුව සඳහා කඩුලු 5 ක් ඉතිරිකර ගනිමිනි.

නියමිත අවස්ථාවේදී ප්‍රහාරය දියත් කළ අෂේන් බණ්ඩාර, දුනිත් වෙල්ලාලගේ සහ පුලින තරංග, අවසන් ඕවර 10 දී ලකුණු 76 ක් උදුරාගත් නමුත් ඕස්ට්‍රේලියානුවන්ට දවාගැනීමට අවසර දුන්නේ කඩුලු 3 ක් පමණි. මෙම ලකුණු 76 න් ලකුණු 52 ක් අවසන් ඕවර 5 දී ලබාගත් ඒවා විය.

40 වැනි ඕවරයේ නිමාව පෙනි පෙනී තිබියදී නික් මැඩින්සන් වෙත උඩපන්දුවක් දෙමින් ධනංජය දැවී යාමට පෙර ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයා, පන්දු 70 කින් ලබාගත් ලකුණු 68 ට හතරේ පහර 10 ක් ඇතුළත් වී තිබිණ.

ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 2 කට දැවී ගිය නමුත්, ඕෂධ ප්‍රනාන්දු (65) සහ කමිඳු මෙන්ඩිස් (42) දෙදෙනාගේ සටන්කාමී සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, 25 වැනි ඕවරය වන විට හිස් ඔසවාගෙන සිටියේය.

ටෙස්ට් පිතිකරුවකු ලෙසින් නිරන්තරයෙන්ම ජාතික කණ්ඩායමට එක්වන ඕෂධ, අද තරගයේදී ලකුණු 65 ක් ලබාගත්තේ 80% ක ආසන්න ලකුණු ලබාගැනීමේ ප්‍රවේගයක් රඳවා ගනිමින්, 25 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ලකුණු සංඛ්‍යාව, කඩුලු 2 කට 130 ක් දක්වා ඉහළ දමා තිබිණ.

ලසිත් කෲස්පුල්ලේ දැවීගිය තැන් සිට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඉදිරියට ගෙන ගිය ඕෂධ සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 කින් ලකුණු 87 ක් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එකතු කළහ. ඔවුන් දෙදෙනාම, ආසන්න වශයෙන්, ඕවරයකදී ලකුණු 5 කට වැඩි වේගයක් රඳවා ගත්තේ තම කඩුලු ද ආරක්‍ෂා කරගනිමිනි.

ඕෂධගේ දැවී යාමෙන් පසුව ඉනිමේ බර කරට ගත් නායකයා, ලකුණු 200 කඩයිම පසුකරන තුරුම පිටියේ රැඳී සිටියේය.

හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ද සමගින් පන්දු 47 කදී ලකුණු 42 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස්, පන්දු යැවූ මැතිව් කුනේමන් වෙතටම උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.

අනතුරුව පැමිණි නායක ධනංජය ද සිල්වා ස්ථාවර ගමනක යෙදෙමින් ඕෂධ ප්‍රනාන්දු සමග ලකුණු වේගය දිගටම පවත්වාගෙන ගියේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7