Cricket NewsEXCLUSIVEInternational

දෙවෙනි දිනය අවසානයේ වැඩි වාසි ශ්‍රි ලංකාවට – සිංහයන් ලකුණු 211 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිලත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියේය. මුල් ඉනිමේදී අත්කරගත් ලකුණු 92 ක වාසියත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශයට වඩා ලකුණු 211 ක් ඉදිරියෙන් සිටී. 

තරගයේ දින දෙකක් ඇතුළත බිඳ වැටුණු කඩුලු සංඛ්‍යාව 25 කි. මෙම කඩුලු 25 න් කඩුලු 20 ක්ම වේග පන්දු යවන්නන් විසින් දවාගනු ලැබ තිබේ.

තමන් තරගයේ පසුපසට වැටී සිටින බව දැනගත් බංග්ලාදේශීයයෝ, කඩුලු දවාගැනීමේ පමණට වඩා උනන්දුවක් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ඕවර 4 ක් යාමටත් මත්තෙන් විතීවි අවස්ථා දෙකක්ම ඔව්හු අහිමි කරගත්හ.

මෙම තත්ත්වය හේතුවෙන් දිමුත් කරුණාරත්න තරමක් ස්ථාවර බවක් පෙන්වූ නමුත් නිශාන් මධුෂ්ක විපිළිසරව සිටියේය. ප්‍රතිඵලය වූයේ නහීද් රානාගේ පළමු ඕවරයේදීම මධුෂ්ක සිය කඩුල්ල අහිමි කරගැනීමයි. පිට ඉන්නට යාන්තමට එපිටින් පතිත වූ රානාගේ පන්දුව නිශාන් මධුෂ්කගේ පිත්තේ ගෑවී කඩුලු රකින ලිටන් සාද්ගේ අත පත්විය.

බවුන්සර් පන්දුවකින් කුසල් මෙන්ඩිස් මවිතයට පත්කළ නහීද් රානා සිය දෙවැනි කඩුල්ලත් දවාගත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන් තරමක් සසල කරමිනි. මෙම තණතීරුවේ වේග පන්දු යවන්නන්ට හොඳ සහයෝගයක් තිබේ.

ලකුණු 04 ක් ඇතුළත ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාම දැවී ගිය බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් අමාරුවේ වැටුණද, පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් පැවැත්වූ දිමුත් කරුණාරත්න (52) සහ ධනංජය ද සිල්වා ශ්‍රී ලංකාවේ වාසිය ලකුණු 200 න් ඔබ්බට ගෙන ගියහ. අද තරගයේදී කරුණාරත්න ලබාගත්තේ තම 36 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.

දිමුත් කරුණාරත්නගේ දැවී යාමෙන් පසුව පැමිණි මුරකරු පිතිකරු විශ්ව ප්‍රනාන්දු තමන්ගේ කාර්යය අඩුපාඩුවක් නැතිව ඉටුකරමින් දිනය නිමාවන තුරුත් කඩුල්ලේ රැඳී සිටියේය.

පළමු දිනය අවසන් වන විට කඩුලු 3 කට ලකුණු 32 ක් ලබා සිටි බංග්ලාදේශය දෙවැනි දින උදෑසනම අමාරුවේ හෙළූ ළහිරු කුමාර තවත් කඩුලු 3 ක් දවාගත්තේය. අද දිවා ආහාරය වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 6 කට 132 ක් ලෙසිනි. බංග්ලාදේශය වෙනුවෙන් යන්තම් හෝ මෙහෙවරක් කළේ ලකුණු 47 ක් ලබාගත් මුරකරු පිතිකරු තයිජුල් ඉස්ලාම් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button