Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයේ සුපිරි සිව් දෙනාගේ වටයට යන්නේ ශ්‍රී ලංකාව ද බංගලාදේශය ද – තීරණය අද රාත්‍රියේ.!

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මේ වන විට ආසියානු කුසලාන තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.

මේ අතර මෙවර තරගාවලියේ ඉදිරියට යෑම සඳහා ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක තරගයක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි. මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයට ‘B’ කාණ්ඩයෙන් සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම කුමක්දැයි තීරණය වන මෙම තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංක‍ා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.

සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමේ තරගයක් බවට පත්වීම නිසා පමණක් නොව, ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ප්‍රකාශයකට බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් ලබාදුන් සැර පිළිතුරක් හේතුවෙන්ද මෙම තරගය කාගෙත් දැඩි අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන තර‍ගයට පසුව දසුන් එම ප්‍රකාශය සිදුකළ අතර හසන් ඊට පිළිතුරු ලබාදුන්නේ බංග්ලාදේශ – ඇෆ්ඝනිස්ථාන තරගයට පෙරාතුවය.

මෙතෙක් සහභාගි වූ තරගවලදී ඇෆ්ඝනිස්ථානය හමුවේ පරාජය වී තිබීම හේතුවෙන් තරගාවලියේ ඉදිරියට යෑම සඳහා මෙන්ම තම කණ්ඩායම වෙනුවෙන් තරගයට පෙර සිටම කළ ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහාද කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය වැදගත් වනු ඇත. ඒ අනුව අද තරගයේදී කණ්ඩායම් දෙක අතර වඩාත් තියුණු තරගයක් දැක බලාගත හැකිවනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

තරගයට පෙර දිනයේදී මාධ්‍ය හමුවට සහභාගි වෙමින් බංග්ලාදේශ කණ්ඩායම් අධ්‍යක්ෂ කලීඩ් මහමුද් මහතාද, මෙහෙදි හසන් ලබාදුන් පිළිතුරට නොදෙවෙනි පිළිතුරක් දෙමින් කියා සිටියේ ලෝක මට්ටමේ පන්දු යවන්නන් කෙසේ වෙතත් බංග්ලාදේශය සතුව ශ්‍රී ලංකාවට වඩා අත්දැකීම් බහුල පන්දු යැවීමේ බළෑණියක් සිටින බවය. සිය පන්දු යවන්නන් අවතක්සේරු කිරීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමට ‍අද තරගයේදී අත්විදීමට සිදුවනු ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 12 ක් පැවැත්වී ඇති අතර ඉන් 8 ක් ජයගැනීමට ශ්‍රී ලංකාවද, 4 ක් ජයගැනීමට බංග්ලාදේශයද සමත්ව තිබේ. කෙසේ වුවත් 2018 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති නිදහස් කුසලාන තරගාවලියේදී දෙවරක්ම බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පවා නොහැකි විය.

ඉන් අනතරුව ඔවුන් එකිනෙකාට එරෙහිව තරග වැදුණේ ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී පමණි. සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී කඩුලු 5 කින් බංග්ලාදේශය පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එතැන් පටන් මේ දක්වා වසරකට ආසන්න කාලයක් මෙම කණ්ඩායම් දෙක විස්සයි-20 තරගයකදී මුහුණට මුහුණ හමුවී නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7