Cricket NewsEXCLUSIVE

පිතිකරුවන්ට පාරාදීසයක් වූ තණතීරුවේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුශාන් හේමන්තගේ දඟ පන්දුව ඉදිරියේ එංගලන්ත Lions පිතිකරුවන් දණ නමයි – ලකුණු 86ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවට.!

තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට නම් ජයග්‍රහණය අනිවාර්යය වූ දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත Lions කණ්ඩායමට එරෙහිව ලකුණු 86 ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගාවලිය 1-1ක් වශයෙන් සම තත්ත්වයට පත් කර ගැනීමට අද (18) පස්වරුවේ සමත් වුනා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලකුණු 316 ක ඉලක්කයක් තැබූ ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ එය හඹා යෑමේදී එංගලන්ත Lions කණ්ඩායම පන්දුවාර 38.1 කදී ලකුණු 229 කට නවතාලීමට සමත්වූහ. මෙහිදී පන්දුවෙන් කැපී පෙනුණු පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත එංගලන්ත Lions කණ්ඩායමේ කඩුලු 5 ක් බිද හෙලීමට සමත් වුනා.

සම්පූර්ණයෙන්ම පිතිකරුවන්ට වාසි දායක ලෙසින් හැසිරුණු ප්‍රේමදාස තණතීරුවේදී පන්දුවාර 8.1 ක් යැවූ දුශාන් සිය කඩුලු 5 දවා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමා තිබුණේ ලකුණු 43 ක් පමණි.

පළමු එක්දින තරගයේදීද ලකුණු 56 කට කඩුලු 3 ක් දවා ගත් දුශාන් අද තරගයේදී දවා ගන්නා ලද කඩුලු 5 ත් සමඟ තරග දෙකේදී ලකුණු 99 කට කඩුලු 8 ක් ලෙසිනි.

දුශාන් මෙම දක්ෂතාවය දක්වන ලද්දේ පූර්ණ වශයෙන්ම පිතිකරුවන්ට හිතකර තණතීරුවකදී වීම කැපී පෙනෙයි. මන්ද යත් තරගයේ හැරවුම් ලක්ෂය බවට පත්වූ ටොම් ප්‍රේස්ට්ගේ කඩුල්ල සිය කඩුල්ල ලෙසින් දුශාන් දවා ගනු ලබන්නේ ඒ වන විටත් සමස්ථ තරගයේම ලකුණු 479 ක් (ශ්‍රී ලංකා A කණ්ඩායමේ ලකුණු 315 + ඒ වන විට එංගලන්ත Lions රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව වන 164) වාර්තා කිරීමට දෙපිළේ පිතිකරුවෝ සමත්ව සිටියදීය.

මෙම හඹා යෑමේදී එංගලන්ත Lions 28 වැනි පන්දුවාරය වන විට කඩුලු 2 කට ලකුණු 164 ක් වශයෙන් අවශ්‍ය වේගය රදවා ගෙන සිටි නමුත්, එතැන් සිට තරගයේ පාලනය අතට ගත් දුශාන් හේමන්ත පන්දු දෙකක් ඇතුළත කඩුලු 2 ක් දවා ගනිමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘A පිල වෙත හරවා දුන්නේය. සිය කඩුලු 5 දවා ගැනීමේදී ප්‍රතිවාදී නායක මැතිව් ෆිෂර් දවා ගැනීම වෙනුවෙන් දුශාන් ගුවනට පැන තනි අතින් රැක ගන්නා ලද උඩ පන්දුවද අති විශිෂ්ඨ ගණයේ විය.

ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු සහ ඇන්ජලෝ මැතිව්ස් තිදෙනා එක්ව අර්ධ ශතක වාර්තා කිරීමට සමත්වීම නිසා එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව පන්දුවාර 50 අවසනදී කඩුලු 7 කට ලකුණු 315 ක ලබා ගැනිමට ශ්‍රී ලංකා A පිලට අද හැකියාව ලැබිණ.

නියමිත එල්ලකයක් නොමැති වූද පන්දු රැකීමද දුර්වල වූ එංගලන්ත Lions කණ්ඩායම හමුවේ කිසිදු අපහසුවකින් තොරව සිය පිති මුවහත් කරගත් ‘ඒ’ පිතිකරුවන් අතරින් ලසිත් කෲස්පුල්ලේ ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූයේ මුහුණ දුන් 39 වැනි පන්දුවේදී අර්ධ ශතකය වාර්තා කර ගනිමිනි.

එංගලන්ත Lions පන්දු යවන්නන් හමුවේ ඉතාමත් විශ්වාසනීය අන්දමින් පන්දුවට පහර දුන් කෲස්පුලලේ මේසන් ක්‍රේන්ගේ පන්දුවකට ටොම් ප්‍රේස්ට් අතට උඩ පන්දුවක් දී දැවී යන විට ලකුණු 73 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 67 කදී වාර්තා වුණු කෲස්පුල්ලේගේ ඉනිම සදහා ඔහු හතරේ පහර 12 ක් එල්ල කර තිබුණේය. එංගලන්ත Lions මෙහි පැමිණ තරග වැදි තුන්දින පුහුණු තරගයේ සිට ඔවුන් හා තරග වැදි කෲස්පුල්ලේගේ ලකුණු ලබා ගැනීමේ අනුපිළිවෙළ සටහන් වූයේ 19, 116, 128, 47, 4 සහ 73 ක් වශයෙනි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 11 කදී දැවී ගියද කෲස්පුල්ලේට එකතු වුණු නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 108 ක් එක් කළහ. පන්දු 91 කදී ලකුණු 100 සීමාව ඉක්මවා ගිය දකුණත් පිතිකරුවන් යුගලය පන්දුවාරයකට ලකුණු 6 කට ආසන්න අතැම් විට ඊටත් වඩා වේගයක් රදවා ගැනීමට සමත්වූහ.

කෲස්පුල්ලේට අනගි සහයක් ලබා දුන් නුවනිඳු තැන්පත් පිතිකරණයක යෙදෙමින් ලකුනු 57 ක් ලබා ගත්තේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු නුවනිඳුගේ ඉනිම පන්දු 70 කින් සමන්විත විය. ලකුණු 27 ක් ඇතුළත නුවනිඳු සහ කෘෘස්පුල්ලේ දැවීයෑමෙන් පසු පිටියට එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ නායක සදීර සමරවික්‍රම තරගයේ පසු භාගයේ වගකීම අකුරටම ඉටු කරන ලද්දේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එක් කරමිනි.

නවසීලන්ත තරග සංචාරයට එක් කර ගැනීමේ බලාපොරොත්තු ඇතිව සුදු පන්දුවට ඇහැ හුරු කර ගැනීමේ බලාපාරොත්තු ඇතිව මෙම තරගාවලියට යොදවන ලද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 53 කදී ලකුණු 50 ක් රැස් කර ගත්තේ තමන් පිළිබඳව තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි බව පෙන්වා දෙමිනි.

අවසන් මාස කීපයේදීම ලකුණු අතර සිටි සදීර සමරවික්‍රම අද දිනයේදීද නායකත්වයේ ලක්ෂණ විදහා පාමින් පන්දු 42 කදී ලකුණු 40 ක් රැස් කරගත්තේය. හතරේ පහර 2 ක් පමණක් ඇතුළත් වුණු සදීර, මැතිව්ස් සහ සහන් ආරච්චිගේ තිදෙනාම ලකුණු 20 ක් ඇතුළත දැවී යෑමෙන් පසු පිටියට එක් වුණු දුනිත් වෙල්ලාලගේ සහ සුමින්ද ලක්ෂාන් ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු සංඛ්‍යාව 300 ඔබ්බට රැගෙන ගියහ. මෙහිදී පසුපෙළින් පන්දුවට පහර දීමට පැමිණි සුමින්ද ලක්ෂාන් පන්දු 27 කදී ලකුණු 35 ක් රැස් කරගන්නා ලද්දේ හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. අනෙක් අන්තයේ රැදී සිටි වෙල්ලාලගේ පන්දු 17 කදී ලකුණු 15 ක් රැස් කරගෙන සිටියේය.

තරගාවලියේ ශූරයින් තෝරනු ලබන දෙපිළ අතර තෙවැනි සහ අවසන් නිල නොවන එක්දින තරගය ලබන 21 වැනි අඟහරුවාදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button