Cricket NewsEXCLUSIVEInternationalUnder-19

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයෝ අද ලෝක කුසලාන සටන අරඹති – ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග බිමට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් 15 වැනි වරට සංවිධාන කරන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (19) දකුණු අප්‍රිකාවේදී ආරම්භ වෙයි.

රටවල් 16ක් එක්වන මේ තරගාවලිය අද සිට ලබන මස 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඊට ඇතුළත් තරග සංඛ්‍යාව 41කි. මූලික වටයේදී කණ්ඩායම් 16 කාණ්ඩ 4කින් තරග බිමට පිවිසෙන අතර, ඒ ඒ කාණ්ඩවල ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 3 බැගින් කණ්ඩායම් 12ක් සුපිරි 6 වටයට එක් වෙයි. එම තරග කාණ්ඩ දෙකකින් පැවැත්වේ.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘සී’ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, සිම්බාබ්වේ සහ නැමීබියාව ඇතුළත් වෙයි. වත්මන් ශූර ඉන්දියාව සමඟ බංග්ලාදේශය, අයර්ලන්තය හා අමෙරිකාව ‘ඒ’ කාණ්ඩයෙන්, සත්කාරක දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය ‘බී’ කාණ්ඩයෙන් සහ ‘ඩී’ කාණ්ඩය යටතේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, නවසීලන්තය හා නේපාලය තරග වදී.

තරගාවලිය ආරම්භ කරමින් අද අමෙරිකාව සහ අයර්ලන්තයත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ සත්කාරක දකුණු අප්‍රිකාවත් තරග බිමට පිවිසෙයි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් තරග වදින අතර, මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනකු සහ අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකු එක් කර තිබේ.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල මේ ඉරිදා (21) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පළමු තරගයට එක්වන අතර, 24 දා නැමීබියාවට එරෙහිවත්, 28දා ඔස්ට්‍රේලියාවට එරෙහිවත් කිම්බර්ලිහිදී මූලික වටයේ තරගවලට එක් වෙයි.

මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, පසුගිය නොවැම්බර් මාසයේ අයිසීසීය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට කටයුතු කිරීම හේතුවෙන් තරගාවලියේ සත්කාරකත්වය ද අහිමි විය. ඒ අනුව දකුණු අප්‍රිකාවට සත්කාරකත්වය හිමිවූ අතර, ඔවුන් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දෙන තෙවැනි අවස්ථාව (1998 හා 2020) මෙයයි.

වසර 1988දී ආරම්භ වූ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩි ගෞරව දිනා ගැනීමට වත්මන් ශූරයන් වන ඉන්දියාව සමත්ව තිබේ. අවසන් වරට (2022) තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔවුන් සමත් වූයේ 5 වැනි වරටය. ඉන් පෙර 2000, 2008, 2012 සහ 2018 වසරවලද ඉන්දියාව ශූරයන් බවට පත්විය. ඔස්ට්‍රේලියාව තෙවරක් (1988, 2002, 2010) සහ පාකිස්තානය දෙවරක් (2004, 2006) ශූරතාව දිනා ඇති අතර, බංග්ලාදේශය (2020), දකුණු අප්‍රිකාව (2014), බටහිර ඉන්දීය කොදෙව් (2016) සහ එංගලන්තය (1998) යොවුන් ලෝක ශූරයන් වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලි ඉතිහාසයේ දක්වා ඇති ඉහළම දස්කම වන්නේ 2000 වසරේ අනුශූරතාව දිනා ගැනීමයි.

අවසන් වරට පැවති තරගාවලියේදී ශ්‍රී ලංකාවට කණ්ඩායම් 16ක් අතුරින් 6 වැනි ස්ථානය හිමි වූ අතර, එහි වැඩිම කඩුලුලාභියා (17) බවට පත්වීමට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සමත්වීම කැපී පෙනිණි.

මූලික වටයේ තරග කාලසටහන

අද (19): අයර්ලන්තය – අමෙරිකාව, දකුණු අප්‍රිකාව – බටහිර ඉන්දීය කොදෙව්

හෙට (20): බංග්ලාදේශය – ඉන්දියාව, එංගලන්තය – ස්කොට්ලන්තය, ඇෆ්ගනිස්තානය – පාකිස්තානය

21 දා: ශ්‍රී ලංකාව – සිම්බාබ්වේ, නේපාලය – නවසීලන්තය

22 දා: බංග්ලාදේශය – අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව – නැමීබියාව

23 දා: දකුණු අප්‍රිකාව – එංගලන්තය, ඇෆ්ගනිස්තානය – නවසීලන්තය

24 දා: ශ්‍රී ලංකාව – නැමීබියාව, ස්කොට්ලන්තය – බ.ඉ. කොදෙව්, නේපාලය – පාකිස්තානය

25 දා: ඉන්දියාව – අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව – සිම්බාබ්වේ

26 දා: බංග්ලාදේශය – අමෙරිකාව, එංගලන්තය – බ.ඉ. කොදෙව්, ඇෆ්ගනිස්තානය – නේපාලය

27 දා: නැමීබියාව – සිම්බාබ්වේ, දකුණු අප්‍රිකාව – ස්කොට්ලන්තය, නවසීලන්තය – පාකිස්තානය

28 දා: ඉන්දියාව – අමෙරිකාව, ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button