Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව ජයග්‍රහණය කරන ලද පළමු ක්‍රිකට් ලෝක කුසලානයට සිනමා උපහාර පිරිනමයි.!

ක්‍රිකට් ක්‍රීඩාව 17 වැනි සියවසේදී අග්නිදිග එංගලන්තයේ වෙල්ඩ් ප්‍රදේශයේ ජීවත් වූ දරුවන් විසින් සැක්සන් හෝ නෝමන් යුගයේ සොයා ගන්නට ඇති බවට සැලකේ.

එලෙස ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව 17 වැනි සියවසේ මැද භාගය වන විට වර්ධනය වී ඉංග්‍රීසි යටත් විජිත හරහා උතුරු ඇමරිකාවට හඳුන්වා දුන් අතර 18 වැනි සියවසේදී ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට පැමිණියේය.

බටහිර ඉන්දීය කොදෙව්වන්ට යටත් විජිතවාදීන් විසින් ද ඉන්දියාවට බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය සමාගම් නාවිකයන් විසින් ද ක්‍රිකට් හඳුන්වා දෙන ලදී.

1788 දී ඔස්ට්‍රේලියාවට පැමිණි ක්‍රිකට් ක්‍රීඩාව 19 වැනි සියවසේ මුල් කාලයේදී නවසීලන්තයට සහ දකුණු අප්‍රිකාවට ළඟා විය.

මේ වන විට ක්‍රිකට් උන්මාදයක් බවට පත් වී අවසන්ය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උමතු වූවන් බොහොමයක් සිටින්නේ ඉන්දියාවේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පෑ රවී ශාස්ත්‍රි, සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩකයන් හට ඉන්දියානුවෝ දැඩි ගෞරවාදරයෙන් සැලකුම් කරති. කපිල් දේව් ද ඒ අතර සුවිශේෂී චරිතයකි. එයට විශේෂ හේතුවක් ඇත.

එනම් 1983 වසරේදී ඉන්දියාව මුල්වරට ඔහුගේ නායකත්වයෙන් යුතුව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමයි. වේග පන්දු යවන්නෙකු මෙන්ම මැදපෙළ පිතිකරුවෙකු ද වන කපිල් දේව් ටෙස්ට් ලකුණු 5000කට වඩා රැස් කරමින් ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවට පත් විය.

එසේම එක්දින කඩුලු 200ක් දවාගත් පළමු ක්‍රීඩකයා වන්නේද ඔහු යි. ලෝක කුසලානය දිනූ ළාබාලතම ක්‍රිකට් නායකයා (වයස අවුරුදු 24) වීමේ වාර්තාව ද කපිල් දේව් සතුය. එදා පටන් මේ දක්වා ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව සූදානම් වන සෑම අවස්ථාවකදීම සිහිපත් කරන්නේද කපිල් දේව්ගේ ජයග්‍රාහී සිනහවෙන් යුතු මුහුණයි.

ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් 1983 ලෝක කුසලානය තේමාව කරගත් චිත්‍රපටයක් තිලිණ කරන්නට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ කබීර් ඛාන් තීරණය කළේ ද එවැනි වීඩියෝවක් නැරඹීමෙන් අනතුරුවය.

1983 ජූනි 25 වැනිදා ලන්ඩනයේ ලෝඩ්ස් හිදී පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ පිටපිට දෙවරක් ලෝක ශූරතාවය දිනා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කරමිනි.

කාසියේ වාසිය ද අහිමි වූ ඉන්දීය කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහර දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 183කි. විව් රිචර්ඩ්ස්ගේ වේගවත් පිතිහරඹයෙන් කොදෙව් ලකුණු පුවරුව එක් කඩුල්ලක් සමඟ ලකුණු 50 ට ළඟාවන විටදී ඉන්දීය ක්‍රීඩා ලෝලීන් කුසලානය පිළිබඳ අදහස අත්හැර තිබුණ ද නායක කපිල් දේව්ගේ මඟ පෙන්වීම යටතේ දක්ෂ ඉන්දීය පන්දු යවන්නන් හමුවේ කොදෙව්වන් ලකුණු 140 කට දැවී ගියේ ඉන්දියාවට ලකුණු 43ක විශිෂ්ට ජයක් අත්කර දෙමිනි. අවසන් මහා තරගයේ වීරයා වූයේ තුන් ඉරියව් දස්කම් පෑ මොහින්දර් අමරනාත්ය.

කබීර් ඛාන් අධ්‍යක්ෂණය කළ ’83’ චිත්‍රපටය කපිල් දේව්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 1983 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ ආකාරය නැවත පැවසීමකි. මේ වෙනුවෙන් කපිල් දේව්ගේ චරිතයට පණ පොවන්නේ රන්වීර් සිං ය.

දීපිකා පදුකෝන් කපිල් දේව්ගේ බිරිඳ රෝමි භාතියාගේ චරිතය නිරූපණය කරන්නීය. රන්වීර් පවසන්නේ ’83’ තම ජීවිතයේ චිත්‍රපටයකට වඩා වැඩි දෙයක් බවයි. “මෙය චිත්‍රපටයක් පමණක්ම නොවේ. ඉන්දියානු ඉතිහාසය වෙනස් කරමින් 1983 ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලද විශිෂ්ට ජයග්‍රහණයට උත්කර්ෂවත් උපහාරයකි”. ’83’ චිත්‍රපටය සමඟ රන්වීර්ගේ සාමාන්‍ය දිවියේ කටයුතු ද වෙනස් විය. චිත්‍රපට පිටපත ලැබීම සමඟ රන්වීර් නිරන්තරයෙන් කපිල් දේව් හමුවීමට යමින් කපිල්ගේ හැසිරීම්, අංග චලනයන්, කතා බහ කරන අයුරු මෙන්ම ක්‍රීඩා ශෛලිය ගැනද පූර්ණ දැනුමක් ලබා ගන්නට වූයේය.

කපිල් දේව් පිටියට පැමිණෙන අයුරු, පිත්ත හැසිරවීම, පන්දු යවන අන්දම, උඩ පන්දු රැකගන්නා අයුරු රන්වීර් ඉතා සියුම්ව ග්‍රහණය කර ගත්තේ පැරණි වීඩියෝපට නැරඹීමෙනි.

රන්වීර්ගේ කැපවීම අපතේ නොගියේය. පූර්ව ප්‍රචාරකපටය නිකුත්වීමෙන් අනතුරුව ඔහුගේ රංගනය ගැන කපිල් පැවසුවේ මෙවැන්නකි. “රන්වීර් පිත්ත හැසිර වූ ආකාරය ගැන මට පුදුම හිතුණා. ඇත්තෙන්ම කබීර් ඛාන්ගේ තේරීම හරිම අපූරුයි. රන්වීර් කිසිවෙකුට චිත්‍රපටය ගැන කිසිම අඩුවක් පාඩුවක් කියන්න ඉඩ නොතබන බව විශ්වාසයි”. මෙම චිත්‍රපටය කපිල් දේව් හට තවත් අයුරකින් වැදගත් වේ. එනම් ඔහුගේ දියණිය අමියා දේව් මෙම චිත්‍රපටයට සහය අධ්‍යක්ෂවරියක ලෙසින් සම්බන්ධ වීමයි.

’83’ චිත්‍රපටයේ දී පන්කජ් ත්‍රිපාති 1983 ලෝක කුසලානය දිනූ ඉන්දීය කණ්ඩායමේ කළමනාකරු මාන් සිංග් ලෙසද, තහීර් රාජ් භාසින්, සුනිල් ගවස්කාර් ලෙසද, සකීබ් සලීම්, මොහින්දර් අමරනාත් ලෙසද ජටින් සර්නා, යෂ්පාල් ශර්මා ලෙස ද චරිත නිරූපණය කරති. සන්දීප් පටිල්ගේ චරිතයට පණ පොවනු ලබන්නේ ඔහුගේ පුත් බොලිවුඩ් නළු චිරාග් පටිල් විසිනි.

කිර්ති අසාද් ලෙස ඩින්කර් ෂර්මා ද රොජර් බිනී ලෙස නිශාන්ත් දහියා ද මදන් ලාල් ලෙස හාඩි සන්ධු ද සයිඩ් කිර්මානි ලෙස සාහිල් ඛාතර් ද බල්වින්දර් සන්ධු ලෙස ඇමි වික් ද චරිත නිරූපණය කරති. රවී ශාස්ත්‍රිගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ධර්යා කර්වා විසිනි. දකුණු ඉන්දීය නළු ජීවා, ක්‍රිෂ්ණමාචාරි ශ්‍රීකාන්ත්ගේ චරිතය නිරූපණය කරන අතර මෙම රංගනය ඔහුගේ කුලුඳුල් බොලිවුඩ් රංගනයද වේ.

’83’ චිත්‍රපටය පසුගිය වසරේ අප්‍රේල් 10 වැනිදා තිරගත කිරීමට සැලසුම් කර තිබුණ ද ලොවපුරා පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් එය එම වසරේ දෙසැම්බර් 25 දක්වා කල් දැමුණි. කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මාසය වන විටද වසංගතයේ අඛණ්ඩ පැවැත්ම හේතුවෙන් චිත්‍රපටය නැවතත් මේ වසරේ ආරම්භය දක්වා ප්‍රමාද විය.

කෙසේ නමුත් කොරෝනා රෝගීන්ගේ වැඩිවීම නිසා චිත්‍රපටය නිකුත් කරන දිනය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් පසු එය ලබන දෙසැම්බර් 24 දින තිරගත කිරීමට නියමිත බව නිවේදනය කර තිබේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button